Latest News

චිත්‍ර කථාව සහ මම......

මම මේ සටහන මෙහෙම ආරම්භ කරන්නම්. මගේ මතකයේ හැටියට එදා 1972 වසරේ දිනක උදෑසනකි. මට එවකට අවුරැදු හතරක් පමන හා මා නැඟෙණියට අවුරැදු තුනක් පමන විය.

එදින අප මහා සතුටකින් අපගේ ළපටි සිත් පුරවාගෙන දෙමව්පියන් සමඟින් මතුගම යටඳොළ වත්තේ විසු අපගේ ලොකු අම්මාගේ නිවස වෙත යන්නට යොදා ගෙන තිබිනි.

පාසල් ගුරැවරියක වූ අප මෑණියෝ රජයෙන් ලැබූ සුළු වරප්‍රසාදයක වූ දුම්රිය ප්‍රවේශ පත්‍ර කලින්ම වෙන්කරවා ගෙන තිබුනාය.  ඇයගේ සේවය අණුව අපට දෙවැනි කැලෑසියේ මැදිරියක ගමන් කිරීමට අවකාශ ලැබී තිබිනි.
ගමන යාමට නියම කර ගත් දිනට කලින් දා නංගීට හා මට නින්දක් නොවීය.  ඒ අප හදවත් වල වූ කුතුහලය සහ නින්ද ගොස් දුම්රිය වරදීවී යනුවෙන් වූ අනියත බිය නිසාය.

ඒ කෙසේ වෙතත් උදයේම අවදි වු අප සීතලයේ ගැහෙමින් මුව කට දොවා කුරැළන්ගේ කිචි බිචි නාදය මධ්‍යයේ බිමට එළිය වැටීමටත් මත්තෙන් දුම්රිය පළට සේන්දු වීමු.

එවකට අනුරාධපුර නවනගරය දුම්රිය පොළ නොතිබුන නිසා අනුරාධපුර මහා ඉස්ටේසමටම අපට යාමට සිඳුවිය. ගමන පිළිබඳව කුල්මත් වී සිටි අපට දුර පිලිබඳව කිසිදු ගැටළුවක් නොවීය.

කෙසේ හෝ නියමිත ප්‍රවේශ පත්‍ර ගෙන උදෑසන 5.05 ට කොළඹ කොටුව බලා පිටත් වූ රජරට රැජින දුම්රියේ
අසුනකට බර වූ පසු මගේ සිතේ දුම්රිය වරදීවි යැයි තිබු අනියත බිය මහා විශාල විදුලි පහනක් අබියස දැල්වූ කුඩා ඉටි පන්දමක එළිය සේ පසු බා ගියේය.

දුම්රිය ගමනාරම්භ කරන ලදී. ඉස්ටේසමේදි හා දුම්රියේදී ඇසු දුටු දේ පසුව සටහනකින් ඔබ වෙත
ගෙන එන්නෙමි.

තාත්තා බෝතලයක දමා ගෙන උණු උණු කිරි තේ රැගෙන ආවේය. තිබුනු තදියම හා කුතුහලය නිසා වතුර පොඳකුදු නොබී නිවසින් පිටවූ අපට එවෙලේ එය දිව්‍ය අවුසදයක් බඳු විය. තේ බොන අතර මගේ සිතට පැන නැඟි විසල් පුරස්නයකි." මේ වේඟයෙන් දුවන දුම්රියේ සිට තාත්තා හෝටලයකට ගොස් කෙසේ නම් උණු කිරි තේ මිලදී ගත්තේද?" බොහෝ කළක් යනතුරැ මා මෙයට පිළිතුර දැන සිටියේ නැත.

කිරි තේ ගෙනා තාත්තා ඊට අමතරව තවත් අමුත්තෙකු රැගන විත් සිටියේය. මීට පෙර කිසි දිනක දැක නොතිබුන එය චිත්‍ර වලින් පිරි පත්තරයක් විය. කොටින්ම කියතොත් එය "සතුට" පත්‍රය විය.

කියැවීමට මළපොතේ අකුරක් වත්‍ නොදැන සිටි මා එහි වූ චිත්‍ර මුල සිට අගටත් නැවත අග සිට මුලටත් දෑසින් උරා බීවෙමි.

මා මේ කියන්නට යන කථාවේ ආරම්භය මෙලෙස ඇරබිනි. එදිනේ චිත්‍ර කථා පිස්සෙකු ලොවට බිහිවුනි.

එදිනේ පටන් සෑම අඟහරැවාදා දිනයක්ම එනතුරැ මා පෙර මඟ බලා සිටියේ තමාගේ කුළුදුල් පෙම්වතිය එන තුරැ පෙර මඟ බලා සිටින නව යොවුන් පෙම්වතෙකු පරිද්දෙනි. තාත්තා හෝ අයියා කෙනෙකුන් විසින් සතුට පත්‍රය ගෙනා අතර එහි නැවුම් සුවඳ විඳිමින් ඇස් වලින් පින්තූර කියැවීමට මම ලොල් වීමි. කොටින්ම මම ඊට ඇබ්බැහි වීමි. දැන් කාළයේ ළමුන් ඇබ්බැහිවන දෑ වල ඇති නපුරැ හා භයානක කම දකින විට මගේ තිබුනේ ඉතාමත් අහිංසක ඇබ්බැහි වීමකි.

ඒ අඟහරැවාදා දිනය මට අද මෙන් මතකයේ ඇත. අවදිවූ හෝරාවේ සිටම සතුට පත්‍රය ලැබෙන තෙක් පෙර මඟ බලා සිටි මට රාත්‍රියේ ආහාරයෙන් පසුවද එය ලැබෙන අයුරක් නොපෙනිනි. එදා වැඩ අධික දිනයක් බැවින් තාත්තාට සතුට පත්‍රය ගෙදරට එවීමට නොහැකි වී තිබිනි. ඔහු රාත්‍රී අටට පමණ නිවසට ගොඩවිය. මට මතක හැටියට අම්මා ඔහුට මාගේ අසහනය කලින්ම දන්වා තිබිනි.

ගෙදර ආ තාත්තා මඳ වේලාවකින් සතුට පත්‍රයක් මා අත තැබීය. පින්තූර බලා දෙනෙතේ ඒවා සිතුවම් කරගෙන සිටි මට මුල් පිටුව දුටු විටම එය පරණ පත්‍රයක් බැව් දැනීමට තප්පරයකුඳු ගත නොවිනි. පත්‍රය වීසිකර දැමූ මා හඬමින්ම එදා නින්දට ගිය බව මට මතකය. එදායින් පසුව පුත්‍රයා එසේ රවටනු බැරි බැව් තාත්තාද සිහියට ගත් අතර නොවරදවාම මට පත්‍රයද ලැබෙන්න සැලැස්වූ බැව් එතුමාට පිදෙන සෙනෙහසත් සමඟ ස්‍තූති පූර්වකව සිහිපත් කරමි.

මුලදී පින්තූර වලින් සැනසුනු මා හට කථාවද දැනගැනීමේ දොළ දුකක් ක්‍රම ක්‍රමයෙන් පහල විය. අකුරැ හරියට නොදත් මා හට එය ඒබරං ආතා ඉංගිරිසි පත්තරය කියවනවා වැනි මහා භාරදූර කාරියක් විය.

මට පත්තරය කියවා දීමේ කාරියට බිලිවූයේ එවකට අම්මා පාසල් ගිය පසු අප මිත්තණියට උදව් පදව් කරමින් අපවද බලා ගත් අනුලාටය. පොත් පත්තර කියැවීමට මහත් ගිජු වු ඇය එම කාරිය දේව කාරියක් සේ මහත් භක්තියකින් යුක්තව කිරීමට දෙවරක් නොසිතා ඉත සිතින්ම කැමති වූවාය.

එතැන් පටන් ඇය අනෙකුත් වැඩ රාජකාරියන් අවසන් වනතුරැ පත්තරයේ චිත්‍ර කියැවූ මා ඉනික්බිතිව ඇය පස්සේ වැටුනේ ඉඳිකට්ට පසුපස වැටුන නූලක් මෙනි. ඇයට පිං සිදු වන්නට ඒ කථා මට හොඳින් තේරැම් ගත හැකිවිය.

එක් කාරණයක් මේ අවස්ථාවේ නොකියාම බැරිය. එයනම් එකල තිබූ චිත්‍ර කථාවල තිබූ අමිල ගුණයයි. පවුලේ සැමටම එකට කියවිය හැකි හරවත් කථාවන් එහි විය.කිසිවිටෙක අනවශ්‍ය හුදු රාගය හෝ කාමය අවුස්සන කිසිදු කථාවක් එහි නොවීය. සෑම කථාවකම වාගේ අප හැමට උගත හැකි යමක් හෝ සමාජයට දෙන යහපත් පවිවුඩයක් ගැබ්වී තිබුනි.

පසු කළෙක හතු පිපෙන්නා සේ බිහිවූ චිත්‍ර කථා හුදු වෙළද ආදායම ගැනම සිතූ හෙයින් පත්‍රවල ප්‍රමිතියත් බාල වී මහා කුණුහරැපයක්ම පමනක් සමාජයට දීමට මාන බැලූ අතර චිත්‍ර කථාවේ පරිහානියටද අත්තිවාරම දැමීය. මේ ගැන සවිස්තරව පසුව ලියමි.

සතුට පත්තරයේ මා ප්‍රිය කෙරෑ කථා රාශියක් විය.

ජනක රත්නායකයන්ගේ " පාට පාට හීනයක්". එහි වූ චරිත මට අද මෙන් මතකය. සුමේද ඉනෝකා හා නිමාලි අතර වූ ත්‍රිකෝණාකාර ප්‍රේම පුරානයක් එහි ප්‍රධාන කථා තේමාව විය. "මෙය ඔබ අප සැමදා දකින කළු සුදු හීනයක් නොව පාට පාට හීනයකි" යන්න කථාවේ තේමා පාඨය විය. " අත්තික්කා මල් හා සුසීමා" ජනක රත්නායකයන්ගේ මා සිත් ගත් තවත් කථා දෙකකි. ඔහු ඇඳි ගැහැණු සහ මිනිසුන් ඉතාමත් ලස්සන අය වූහ.

වික්‍රමගේ බට්ටී , අනුර විජේවර්ධනයන්ගේ මේඝ, කැළෑ කෙල්ල, දයා රාජපක්ෂයන්ගේ රක්තා, සිව් මංසල, බංදුල හරිශ්චන්ද්‍රයන්ගේ ක්ලියෝපැට්රා වැනි කථාත් කැමිලස්ගේ ගජමෑන් කාටුනයත් මගේ ළපටි සිත වසඟ කෙරෑ කථාවන්ගෙන් කිහිපයක් පමනි.

ඉන්පසු " සිත්තර" පත්‍රය බිහිවිය. ඒත් සමඟ චිත්‍ර කථා ලෝකයට බලංගොඩ සරත්මධු නාමය එක් විය. එතුමා විසින් නිර්මාණය කල ඉතිං ඊට පස්සේ හා යුනිකෝ යන කථා ජන හද කුල්මත් කරන්නට සමත් විය. එම පත්‍රයේම ටෝරස් නමින් කථාවක් තිබූ අතර මට එය ඇඳි චිත්‍ර ශිල්පියාගේ නාමය හරියට මතක නැත.

1975 වසර වන විට මා පාසල් යාම ඇරබූ අතර පාසලේදී පවා මා වැනිම චිත්‍ර කථා පිස්සන්ගේ සමාගමය මා ප්‍රිය කලෙමි.  ඒ අතර වූ රවී ගලගොඩ නම්වූ මාගේ මිත්‍රයා පිළිබඳ සඳහන් නොකරම බැරිය.

ඔහුත් මාත් සතුට පත්‍රය බැලීමේ පිස්සුවෙන් පෙළුනෙමු. එකෙකුට කලින් අනෙකා පත්‍රය බලා තිබුනොත් දෙදෙනාම එය බලන තෙක් ඒ ගැන කිසිදු කතිකාවක් බැරි බැව් අප දෙදෙනා අතර වූ සම්මුතියකි. ඔහුත් මාත් බොහෝ චිත්‍ර කථා නිර්මාණය කලෙමු. " ප්‍රෝටස්" නමින් කල අප මුල්ම කථාවේ අප ලියූවේ " රචනය සහ චිත්‍ර ගලගොඩ සහ චන්දන"
කියාය. ඒවායේ පිටපත් ලඟතබා ගෙන ආරක්ෂා කරගැනුමට අප දෙදෙනාටම නොහැකි වීම ගැන මම අදටත් දුක් වෙමි.

මේ චිත්‍ර කථා කියැවීම නිසා අපගේ නිර්මාණාත්මක රචනා කලාව හා චිත්‍ර කලාව පංතියේ අනෙකුත් ළමයින් හා සසඳන කල ඉහලින් තිබූ බැව් පවසන්නේ අවිහිංසක ආඩම්බරයක් සිත තබාගෙනය. හයේ පංතියේ  ඉගෙන ගන්නා සංදියේදි සිංහල ගුරැතුමිය විසින් ඇරඹි පුවත් සඟරාවට මා ඉදිරිපත් කල රහස් පරික්ෂක චිත්‍ර කථාව ඇයගේ මවිතයට හේතු විය. එහි වූ උසාවියක නඬු අසන අවස්ථාවක මා යෙඳු දෙබස් පංතියේ අනෙකුත් ළමුනට මහා ප්‍රෙහෙලිකාවක් විය.

මෙය කියවන ඔබ මා ගැන වැරදියට නොසිතායියැයි මා හුදෙක්ම විශ්වාස කරමි. මා මේ සිද්ධීන් පුන පුනා කීවේ මගේ මං පොර ජාතකය ප්‍රදර්ශනයට නොව චිත්‍ර කථා පිස්සුවෙන් මට අවැඩක් නොව වැඩක්ම වූ බැව් ඔබට ඒත්තු ගැන්වීමට පමනි.

මේ කාලයේ මා බැලූ තවත් චිත්‍ර කථා පොත් පෙළක් වූයේ මා යටඳොළ වත්තේ ලොකු අම්මලාගේ නිවසේ නිවාඩුවට ගොස් සිටින අතර ඒ ගමේ වූ කුඩා පුස්තකාලයේදී අහම්බෙන් ඇස ගැටුනු "ලංදේසි හටන" නම්වූ පොත් පෙළයි. මා මෙයට කෙතරම් ඇල්ම කලාද යත් එක් දිනක උදේම පුස්තකාලයට ගොස් කෑමක් හෝ බීමක් නොමැතිව මුළු දවසම ලංදේසි හටන කියැවූයෙමි. තවත් දිනෙක මගේ පයේ ඇඟිලි දෙකක් අතර එල්ලී ලේ බිව් කූඩැල්ලෙකු මගේ පාදයේ කුඩා ඇඟිල්ල තරම් විශාල වන තුරැත් මට නිනව්වක් නොවූයේ මා කථාවට ඒ තරමටම වශී වී සිටි හෙයිනි. මට මතක හැටියට එය සුසිල් ප්‍රේමරත්නයන්ගේ හෝ බංදුල හරිශ්චන්ද්‍රයන්ගේ නිර්මාණයකි.

මේ කාළයේ වූ තවත් ජනප්‍රිය සඟරාවක් වූයේ "ශ්‍රී " සඟරාවයි.  එහි අගට වන්නට වූ චිත්‍ර කථාව මට කිසි දිනෙක අතපසු වූයේ
නැත.

එහි මා සිත් ගත් චිත්‍ර කථා කිහිපයක්ම විය. ඒ අතරින් රහස් පරික්ෂක කථාවක මිනීමරැවා අල්ලා ගැනීමට උදව් වූයේ කුඩා ළමුන් පිරිසක් හඳ එළියට බිත්තියක් මත පතිත වූ සෙවනැලි අඟුරැ කැබැල්ලකින් සිතුවම් කරද්දී කළුවරේ ගස් අතර සැඟව සිටි මිනීමරැවාද චිත්‍රයට නැඟී තිබීමයි.

තවත් කථාවක මරණාසන්නව ඇඳක
වැතිරී සිටිනා ලඳක් ඇය සිටින කුටියේ කවුළුවෙන් පිටත වූ රෝස ගසක වූ මලක පෙති හැලි හැලී යන ආකාරයට තම ජීවිතයද අවසානයට යන බව සිතන්නීය. අවසානයේ එම මලෙහි එක් පෙත්තක් පමණක් ඉතුරැ විය. එය දුටු ඇය පහුවෙනිදා එම පෙත්තද ගිලිහුනු පසු තමාගේද අවසානය බැව් පැවසුවාය. ඇයට පනමෙන් ආදරය කලේ චිත්‍ර ශිල්පියෙකි. ඇය ඔහුව එතරම් ගනනකට නොගත් අතර එදින රැයේ හොර රහසේ වැටුනු මහා වැස්සේ තෙමෙමින් අර රෝස මලේ අවසන් පෙත්ත ගිලිහී නොයන පරිද්දෙන් කෘතීමව නිර්මාණය කොට මලට බද්ධ කරන ලදී.

පහුවදා උදෑසන අවදි වූ ඇය කවුළුවෙන් පිටත බලන්නී තවමත්
නොවැටී පවතින මල් පෙත්ත දැක තමන්ට තවත් කල් ජීවත් විය හැකි
බව පසක් කර ගත්තද වැස්සේ
තෙමී එම නිර්මාණය කල චිත්‍ර ශිල්පියා අධික ලෙස වැස්සට තෙමීම හා ශීතල හේතුවෙන් නිව්මෝනියාව වැළදී ජීවිතෙන් එම උදයේම සමුගත් පුවත ඇසීමෙන් මහත් කම්පාවට පත්වූ අයුරැ මට අද ඊයේ මෙන් මතකයේ ඇත.

මේ කාලයේ ජනප්‍රිය වූ තවත් චිත්‍ර කථා පතුයක් වූයේ " සුහද" පත්‍රයයි. එහි වූ කථා අතර අන්ටන් බී පෙරේරා චිත්‍රයට නැඟූ "රන් කුරැමිණියෝ" මාගේ ප්‍රියතම කථාව වූ අතර එය කපා පොතක අලවා එකතු කිරීමටද මම පසුබට නොවීමි. එය තුන් දෙනෙකුගේ සහයෝගයෙන් නිර්මාණය වූවකි. එහි වූයේ රචනය සහ චිත්‍ර ඇන්ටන් බී පෙරේරා, දෙබස් රෝඩා පෙරේරා හා කථාව ගුණතිලක මාළොලුව කියාය.

එක දහස් නමසිය අසූවේ මුල භාගයේ රෑපවාහිණියේ සංක්‍රමනයත් සමඟම චිත්‍ර කථාවට තිබූ මිනිසුන්ගේ නැඹුරැව ටික ටික හීන වූ අතර කථාවලද ක්‍රමයෙන් ඇතිවූ ප්‍රමිතියෙන් අඩු භාවය එය මිනිසුන්ගෙන් දුරස් කරලීමට තවත් පිටුවහලක් විය. මේ කාලයේ මා ඇබ්බැහි වී සිටි "  සතුට" යම් නීතිමය හේතුවක් නිසා "මධුර" නමින් නම මාරැ කල අතර "සතුට" නමින් තවත් පත්‍රයක් බිහි විය.

චිත්‍ර කථා බොහොමයක් චිත්‍ර පටවලටද නැඟුන අතර දයා රාජපක්ෂයන්ගේ සක්විති සුවය, රක්තා වැනි කථා ගෙන හැර දැක්විය
හැක. ජනන රත්නායකයන්ගේ සුසීමා, සරත් මධුගේ ඉතිං ඊට පස්සේ, දයා රාජපක්ෂගේ පස් වැනි කථා ටෙලි නාට්‍ය විලසින් පුංචි තිරයද දිග් විජය කරන ලදී.

එහෙත් චිත්‍ර කථාවේ අභාවය එන්න එන්නම වැඩි වූයේ මිනිසුන්ට වෙන වෙන මාධ්‍ය වලට පාර කපමිනි.

මීට වසර කීපයකට ඉහත අපේ මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් විසින් ලියා පළ කල " චිත්‍ර කථාවේ වංශ කථාව" කියැවීමෙන් මගේ මතකය දශක තුනකට ඉහත චිත්‍ර කථාවේ ගැලී සිටි මගේ සොඳුරැ ළමා අවධියට පියාඹෑවේ නිරායාසයෙනි.

 

තවත් කොටසක් මීළඟ කළාපයෙන්.......



 චන්දන ගුණසේකර

https://www.facebook.com/chandana.gunasekera?fref=ts

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates