Latest News

ගමේ සුවඳ





නිලමේ:
පීර පීර බඳින වරල හරිම හැඩයි     නුඹට
රෑට රෑට දිලෙන තරුද  තනිය මකයි              සඳුට
සේද සේද දුහුල් සළුව ඇඳන් ඇවිත්         ඉනට
පාට පාට සිහින වැලක් පෙන්නුවෙ ඇයි නෙතට

මැණිකේ:- නිලමෙට
පීර පීර කෙස් ගස් ටික තෙල් බේරෙන                    හිසට
තෝර තෝර හැඩ වෙන හැටි මදැයි ජැන්ඩි            පහට
කාට කාට පෙනුණත් ඔය බොරු වැඩ මට කුමට
පාට පාට හීන කඩන් වැටෙයිද බය                        හිතට
එතනා: - නිලමේට
ගාට ගාට වත්ත පහළ හොරු  අල්ලන                ලෙසට
රෑට රෑට හෙමි හෙමිහිට හොරෙන් ඇවිත්             ළඟට
කාට කාට නැතත් දැනුණ දා මැණිකෙගෙ             හිතට
පාට පාට නොව කළු සුදු දසුන් පෙනෙයි            නෙතට

නිලමේ: - එතනට
කෝපෙ මොකද මගෙ ආදරෙ හැමදාමත්  නුඹට
ශෝක නැතිව ඉඳින් තවත් මැණිකෙ ගියා   දුරට
කෝල නොකර කෑම හදන්, මම ඉන්නව   බතට
පෝදා පුන් සඳ බලන්න වරෙන් එතනො   පිලට

එතනා: -  නිලමෙට
පෝයට පුන් සඳ බලන්න ආවත් මගෙ               පැලට
ලෝල නැතත් නිලමේ හට බතක් උයා               රසට
කෝප හිතක් ඇති උනොතින් උරණ වෙලා      මෙමට
ශෝක නැතිද මැණිකෙ නිතර පිහිටට එන           අපට

නිලමේ: -  මැණිකෙට
පාට කරල තොල් දෙක නුඹ නිදියන්නෙත්        රැයට
ඊට වැඩිය සැන් පවුඩර් උලා ගනියි                   ගතට
පීර ගත්තු කෙස් විතරද පෙනුණේ  ඔය          නෙතට
තාම මමත් කැමතියි නොවැ ඉන්න ජැන්ඩි         පහට

මැණිකෙ: - නිලමෙට
පාට කරපු තොල් දෙක මගෙ දිලිහෙන කොට  රතට
කාටද වැඩි ආඩම්බර තේරෙනවද                 හොඳට
කෝක වෙතත් නුඹේ හිතත් යනව වගෙයි         දුරට
රෑට එබෙන හඳ පානෙන් වැඩක් ඇතිද           මෙමට

එතනා: -  මැණිකෙට
පාන නිතර ලෙන්ගතුකම පිහිට වෙවී          අපට
දානෙට මැණිකෙට පිහින්ට පලා නෙළුව හොඳට
ගාට ගාට මම යන්නම් අඳුර ඇදෙයි          පැලට
පාන තියා ගෙට යන්නකො සරුපයො එයි රැයට

මැණිකේ - එතනට
පාන තියල ගෙට වෙන්නම් කළුවර දී         රැයට
පේන තැනක නිලමෙත් නෑ ගියා වගෙයි දොරට
කෝල මුකුළු හීන් හිනා නවතා ගෙන          අදට
හීන නැතුව නිදා ගනින් එළිය වැටෙයි       හෙටට

එතනා: -   පාලට
එබෙන ඇවිත් ඉඳහිටකදි පිළිකන්නේ           දොරට
කියන විහිළු කථා යසයි කඳුළුත් එන             ඇහැට
ගමන නිතර නිලමෙ සමඟ පරිස්සමින්             පිටට
යන්න ඉතින් පාල අය්යෙ මැණිකෙ ඒවි       මෙහෙට

පාල : - එතනාට
ඔමරි කතා නිතර දොඩන නුඹේ මුඛරි              කමට
පාර දිගේ යනවිට මගෙ සිනා නැගෙයි               මුවට
නිලමෙ එක්ක යන්න කලින් දුම් අල්ලා              රියට
බුලත් විටක් අරගන්නයි එන්නෙ  නුඹගෙ           ළඟට

නිලමේ: -  පාලට
පාල කොලුවො මොකද උදේ ගියෙ එතනගෙ පැලට
පේර ගහෙත් පැහිල තිබුණ ගෙඩිත් අඩුයි           එමට
කීර කොටුවෙ අයියන්ඩිලැ ගෙදර යන්න         මෙමට
තාම මොකද පරක්කු, කාරෙක ගමුකෝ       මෙහෙට

පාල :- නිලමෙට
කටේ ආව ඇඹුල් රසට  බඩ දඟලන        තදට
වැටේ වැවුණ  එතනාගේ කොවුල් බුලත්  රසට
රටේ නොයා හදා ගන්න බුලත් විටක්    මෙමට
වටේ ඇවිද එතන ඇතිද කියා බැලුවෙ   හොඳට

නිලමේ: - එතනට
මැණිකේ ළඟ නැති පුසුඹකි  නුඹ ළඟ මට     දැනෙන
හැමදාමත් මෙහෙම ඉන්න එතනෝ මට         හිතෙන
සඳ පායල සිසිල් සුළන් ගත දැවටී                      හමන
එන පෝයට සිදාදියෙන් මාල පොටකි          ගෙනෙන

එතනා: -     නිලමෙට
මාල පොටක් කරලන්නට හිතකි පැතුම්      පතන
පාට රත්තරන් දිලිසෙන සිහිනෙකි මට     ලැබෙන
පාන අපට ලෙන්ගතුකම් මැණිකෙගෙ හිත  කඩන
ආල හැඟුම් මොටද ඉතින් රහට බතකි        ඉදෙන

එතනා: -   පාලට
දවස පුරා වැඩ කරලා දැනෙන විඩා                 හිතට
අය්යව දැක්කම හිනැහෙමි කියා බසක්             කවට
නිලමෙ, මැණිකෙ සමඟ නැහැනෙ එවැනි කථා බරට
එකම රැලේ  අපි නොවෙදෝ එක්ව හඬන      දුකට

පාල :- එතනට
උදේ හවස කරකවලා සුක්කානම              වටට
වදේ විඳල ඇතිවෙල මට නිලමෙගෙ හැම වැඩට
රදේ හැදිල ඉවසන්නට බැරි විට මගෙ         දුකට
ළඳේ නුඹේ වදන් පමණි ඇත්තෙ හිතට      සතුට

නිලමෙ: - මැණිකේට
රෑට පෑයු  හඳ වාගෙයි මැණිකෙගෙ වත      මෙමට
ඊට වැඩියෙ මගෙ රන්කඳ වටිනව මගෙ        හදට
තාම මොකද යන්නෙ නැද්ද ලොකු අයියලැ ගමට
ඊයෙ උදෙත් කථා කෙරුව නෑනන්ඩිය      මෙහෙට

මැණිකේ: - නිලමෙට
චාටු කතා මට නිලමෙගෙ පුරුදුයි නොවැ     හොඳට
ආල නැතුව ගෙවුණු  දවස් ගණන් ඇතිද        මෙමට
හේනෙ වැඩට එනව කිව්වෙ අයියන්ඩිනෙ මෙහෙට
මාව යවන්නට ගෙදරින් හදනවදෝ              හොරට

එතනා: -  මැණිකෙට
පාන හිනා නැතේ මැණිකෙ කඳුළ  ඇදෙයි දුකට
පායා එන සඳ ඇතුවත් කළුවර එයි              අවට
ගාට ගාට හෙමිහිට යන්නම් මම                පැලට
හීන කුමට හෙට උදයෙම ගොඩ වෙන්නම් පිලට

මැණිකේ : - පාලට
පාල ළමයො කළුවරේම නොයන් මිදුලෙ එපිට
රෑට අඳුරෙ එළි   බහිනව සතුන් එහෙට මෙහෙට
කාට කොහොම මුත් මට නම් හරි පාළුයි හිතට
පාන අරන් බලමුද අපි නිලමෙ ගියේ කොහෙට

පාල:- මැණිකේ
මැණිකෙ හනික මෙහෙට එන්න උදව්වෙන්න මෙමට
වාරු  දීල අරන් ආවේ ඇවිදිනු බැහැ                  ඔහුට
දෙනියෙ  ඉඳන් එන විට හඬකුයි අසුනේ            දුරට
බලන කලට   නිලමෙ  වැටිල වත්තෙ තිබූ         වලට

මැණිකේ :- නිලමෙට
අනේ දෙය්යො  මොකද්ද මේ වෙච්චි විපත       අපට
කැලේ, නිලමෙ කළුවරේම කොහි ගියාද      මොකට
පිලේ ඔහොම ඈඳි ගන්න වාරු  දීල                    අතට
වෙලේ ගෙදර වෙද මාමගෙ තෙල් ගුණ වෙයි   මෙයට

නිලමේ :- මැණිකෙට
දෙනිය පහළ  ඉඩමෙ  බැඳපු   කැඩිල  තිබුණු  වැටට 
හොරුත්  එනව රිංග රිංග  පොල් අහුලති           එමට
ගියේ බලන්නට ඒකයි හැමදාකම                   රැයට
මගෙ කරුමෙට පය ලිස්සල  වැටුණ නේද        වළට

නිලමෙ :- තමාටම......
තෙල් ගාලා පත්තු බැඳල මැණිකේ           හැමවිටම
ලංකර ගෙන කරනා මේ හෙදකම්              සදහටම 
ගොන්කම් මම කෙරුවා  නොවැ නොබලා  වටපිටම 
මං  හිතනව නුඹ විතරයි මගෙ දෙවි            මිහිපිටම
~~~~~  නිමි  ~~~~~

මෙවර "ගමේ සුවඳ" හි  සඳ ඇති රැයකචරිත පණගැන්වුයේ :-

නිලමෙ   :- ගුණවර්ධන රත්නායක (සව්දි අරාබිය)
මැණිකෙ :- මාලා විජේකෝන් (ඇ. එ. ජ)  
එතනා    :- නයනේත්රී කපුරුසිංහ (ජර්මනිය)
පාල       :- රත්න ජයසේකර (එක්සත් රාජධානිය)


No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates