Latest News

මතක බණ | Recollection







එය ස්ථීරය.ඇය තවදුරටත් මා සමීපයට පැමිණීමට උත්සාහ නොකරනු ඇත.නමුත් ඇයගේ නික්ම යෑම මැදහත් සිතකින් වින්ද ගන්නේ කෙලෙසක දැයි සෑම විටම සිතට නැගෙන ගැටලුවකි.කෙටි නමුත් සිදුවීම ගණනාවකින් පිරුණු අතීතයක කිසිදා පිළිණු නොවන එහෙත් සිතට නැගෙන සෑම විටම හදවත නිය ගසන මතක සම්භාරයක නන්නත්තාර වෙමින් ඔද්දල් වූ සිත එකඟ කර ගැනීමට වෙහෙසෙමි.
 

මම කිව්වනේ මට ඔය නම කියන්න එපා කියලා.ඒක මට හරි අවුල්.මට තියනවා නේ කවුරුත් කියන කවුරුත් දන්න නමක්  නංගි.මට ඒකෙන කතා කරන්න.අනිත් දේ තමයි කාට හරි ඇහුනොත්.
එහෙම කියන්න එපා සුදු අයියා.මම කියන්නේ මට ආස හිතෙන නම.කට්ටිය ඔයාට මොන නමකින් කතා කරත් මට කමක් නෑ.මම කතා කරන්නේ මට ඕන නම.
තේරුම් ගන්න.නංගි  හිතන විදියේ සම්බන්දෙකට දැනට මගේ තත්වය එක්ක කොහොමටවත් ඉඩක් නෑ.අනික නංගිලාගේ තාත්තා උනත් මට කොච්චර උදව් කරනවද?.ඒ මනුස්සය කවදාවත් කැමති වේවිද නංගි හිතන විදියේ සම්බන්දෙකට.
මට අරමුණක් තියනවා.මම ඒ අරමුණට ගියොත් මට කවදාවත් ඔයා ලඟට එන්න බෑ.ඒ අරමුණට යන්න බැරි උනොත් ඒක වෙනම දෙයක්.ඒත් නංගිට එච්චර කල බලාගෙන ඉන්න පුලුවන්ද?.ඒක කොහෙත්ම ප්‍රායෝගික නෑ නේ.

මම බලන ඉන්නවා.මැරෙන තුරාම මගේ සුදු අයියා වෙනුවෙන් බලන ඉන්නවා.මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.මතකයි නේ.මැරෙන තුරාම.
මේ කතාව අපි නවත්තමු නංගි.දැන් පරිස්සමින් ගෙදර යන්න තෙරුවන් සරණයි.
මතක තුල  අතරමං වූ සිතුවිලි නැවත වර්තමානයට රැගෙන ආයේ සියුම් නමුත් නුහුරු ශබ්දයකිනි.එහෙත් ඒ ගැන විමසිලිමත් වීමට තරම් සිතෙහි රුචියක් නැත.වරදකාරී හැගීමකින් සිත නොපහන් උවද,එම අතීතයේ කිමිදීම සිතට සහනයකි.
මම ඔයාට දෙයක් ගෙනාව සුදු අයියා.අවුරුද්දට.මම අවුරුදු කුමාරි වෙලා හම්බ වෙච්ච සල්ලි වලින්.
හ්ම්ම්ම්.මොකක්ද?
ටි ෂර්ට් එකක් 
නංගි දන්නවා නේ මම මේ වගේ දේවල් අඳින්නේ පලදින්නේ නෑ කියලා.මම අඳින්නේ එකම විදියට කියලා. 
ඒ උනාට කමක් නෑ තියා ගන්න.දුලි පිහි දාන්න හරි.
හ්ම්ම්ම්.මම මොනවා කියන්නද?

මොකුත් කියන්න එපා.තියා ගන්න.මම යනවා,
තෙරුවන් සරණයි නංගි.
මතක සිත අසරණ කරවයි.සියල්ලක්ම අතහැර අරමුණෙන් මිදී පලා යාමට සිතෙන මුත් , මාගේ පලා යාමෙන් ඇයගේ පරිත්‍යාගය හෑල්ලුවට ලක්වීම නොවන්නට මා මේ වනවිටද පලා ගොස් ඇති බව මාගේ ප්‍රතිපත්ති වලටද නොරහසකි.එහෙත් ඇයට එසේ කිරීමට අනුබල දුන්නේ එසේත් නැතිනම් හේතු වුයේ මා  නොවේදැයි දැනෙනා විට ස්නායු කම්පනය කරමින් සියොලඟම වෙලා ගන්නා වේදනාව විඳ දරා ගැනීමට කොතෙකුත් සංවර කල සහ උපේක්ෂා සහගත මාගේ සිතට නොහැකිය.
දෑස් පියවෙන සෑම විටම ඇය ඇඳි ගවුම් වල මල් නොයෙකුත් රූප මවයි.මා ඇයට අවනත වී නම්.
ඇයට අවනත වීමට මා හට ගිනිය නොහැකි තරම් අවස්ථා ලැබී ඇත.මා අවස්තාවදියෙකු වුවා නම් ඕනෑ තරම් ඇයගේ පහස ලැබීමට මා හට අවස්තාව තිබුණි.මා විමසන පමාවෙන් මා හට එය පුද කිරීමට ඇය පසුබට නොවන බවද දනිමි.
මට ගෙදරින් කෙනෙක් බන්දන්න යන්නේ.මම ඒකට කැමති නෑ.
ඇයි කැමති නැත්තේ.
ඇයි ඔයා දන්නේ නැතුව වගේ අහන්නේ.ඔයා දන්නවා මම ආදරේ කරේ ඔයාට විතරයි කියලා.හැමදාම ඔයා ගැන විතරයි හිතුවේ කියලා.ඇයි ඔහොම කියන්නේ.
ප්‍රායෝගික වෙන්න නංගි.ගෙදරින් නංගිගේ හොඳට නේ ඔය කසාදය කරන්න හදන්නේ.මම වගේ කෙනෙක් එක්ක නංගිට අනාගතයක් නෑ.තේරෙන්නේ නැද්ද ඒක.
මම ඔයාට කලිනුත් කිව්වා.අදත් කියන්නම්.මට වෙන මිනිස්සු එපා.මම ඔයා වෙනුවෙන් මැරෙන කම් මතකනේ මැරෙනකම්ම බලන් ඉන්නවා.මම යනවා අම්මලට බෑ මාව බලෙන් බන්දන්න.ඔයාට බුදු සරණයි.


ඔයාට මම වෙනුවෙන් ඒක දෙයක් කරන්න පුලුවන්ද.මට මේ මරාලෙන් මිදෙන්න.මාව ගෑනියෙක් කරන්න.එතකොට බදින එකා මාව ගෙදරින් එලවාවී.මම මැරෙන තුරා ඔයා වෙනුවෙන් ඉන්නම්.
කට වහ ගන්න.ජරා කතා කියන්න එපා.මට මගේ ප්‍රතිපත්ති පාවල දෙන්න බෑ කිසිම හේතුවකටවත්, තේරුම් ගන්න මගේ තත්වේ.    
මම යනවා ඔයාට බුදු සරණයි.
මෝඩ වැඩ කරන්න හිතන්නේ නැතුව පරිස්සමින් ගෙදර යන්න තෙරුවන් සරණයි නංගි.
ඇය විශේෂිතය.තමන්ගේ අරමුණ වෙනුවෙන් දිවිහිමියෙන්ම කැපවී මිනිසෙකුට ලැබෙන වටිනාම දේ පවා ඒ වෙනුවෙන් කැප කල හැකි ගැහැනියක්.වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය විශේෂිතය.එය විඳ ගනු රිසියෙන් ඇය මා  සමග ඉතුරු කල අවසන් සලකුණ,පසු උන දින කීපයේ මා දහස වතාවකට වඩා කියවූ.කොපි කොළ භාගයක කුඩා අකුරින් ඇය  ලියු,මා දිනපොතෙහි සඟවා තැබූ ලියමන මම නැවත කියවමි.


සුදු අයියා වෙත.

අයියේ මට ගෙදරින් බේරුමක්‌ නෑ අර මිනිහව බඳින්න කියලා.ඒත් මට බෑ මම ඔයාට දුන්න පොරොන්දුව කඩ කරන්න.ඒ හේතු ගණනාවක් නිසා.මම ඔයාට ආදරෙයි.මට මුලින්ම පිරිමියෙක් ගැන හිතුන නම් ඒ ඔයා ගැන.මම කෙනෙක්ට ආදරේ කරානම් ඒ ඔයා.ඔයාට මතකද මම දවසක් කිව්වා මම මැරෙනකන්ම ඔයා වෙනුවෙන් බලන ඉන්නවා කියලා.මම මගේ අතේ මම ඔයාට කියන නම බ්ලේඩ් එකකින් කපා ගත්තා.මම යනවා.යන්නම යනවා.මම ඔයාට දුන්න පොරොන්දුව කැඩුවේ නෑ.මම මැරෙනකන්ම ඔයා වෙනුවෙන් බලන හිටියා.ඔයාට ආදරේ කරා.මේ ලියුම ඔයා දකින කොට මම මේ ලෝකේ දාල සදහටම ගිහින් ඇති.ඒත් මම ඔයාව දාල යන්නේ නෑ.අපි හැම දාම හම්බ වෙච්ච කුඹුක් ගහ ගාව මම ඔයා එනකන් බලන ඉන්නවා.අපි අපේම වෙලා ලබන ආත්මේ ඉපදෙමු.

ඔයාගේ වෙන්න හිතපු ඔයාගෙම නොවුන අහිංසකි.

ඇයගේ විලවුන් සුවඳ දැනෙයි.මොහතකට පෙර ඇය මා අසලින් සිටියාක් වැනිය.ඇයගේ සිනා මෙතරම් කලකට පසු දෙසවන් පුරා රැව් දෙන්නේ මන්දැයි තවමත් සිතා ගත නොහැක.
මා වැනි කෙනෙකුට කඳුල අකැපය.එහෙත් කඳුලක් දෙනෙතට පැමිණියේ කෙසේදැයි විමසීමටද දැන් කල්ගතවී හමාරය.මම තැවෙමි අවීචි මහා නරකාදියක දැවෙමි.එහෙත් ඇය කිසි දිනක ඒ සුන්දර සිනහව සමග මා අමතනු නැති වනු ඇත. 

මේ පට්ට වෙසියෝ මැරුණම අපිටමයි වදේ.මොකෙක් එක්ක හරි හැමිනිලා කෙල උනාම වහ බොනවා.නෙද්දකින් පරට්ටි.මම ආදරෙයි සුදු අයියා කියල අතේ ගහගෙන.සුදු අයියගේ අහවල් ඒකට ආදරේ කරලා ඔය කර ගත්තේ.තුහ්හ් විතරක්.
සිතුවිලි දාමය බිඳුනේ පියදාස බණ වදින හඩිනි.සැකයක් නැත.ඔහු බණ වදින්නේ ඇයටය.එහෙත් ඇය කෙතෙරම් පිවිතුරු දැයි ඔහුට පැවසිය නොහැකිවීම හදවත පාරයි.
නිකන් අපරාදේ නිකන් මැරුණ මිනිස්සුන්ට බනින්න එපා.පව් සිද්ද වෙනවා අනික මේ වගේ තැනක.

මොන පවක්ද.ඕකි මේක අස්සෙත් රිංග ගෙන ආවේ.අන්න ලොකු හාමුදුරුවෝ කිව්වා ලොකු හාමුදුරුවෝ සිරිල් ඇමති තුමාගේ අතේ පිරිත් නුලක් බඳින්න යනවා කියලා,අර වහ බීපු ඒකිගේ ගෙදර මතක බණ කියන්න පොඩි හාමුදුරුවන්ට යන්න කියලා.





හසිත විජේසේකර 

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates