කාලෙකට සැරයන් ඉඳලා ඉඳලා චිත්‍රපටයක් එනවා මේක නම් මාර ෆිල්ම් එකක් මේක අනිවාර්යයෙන් බැලිය යුතුයි කියලා හිතෙන. ඒ ඒ චිත්‍රපටය මහාචිත්‍රපටයක් වත් නිෂ්පාදන වියදමවත් වෙන මොකවත් නිසා නොවෙයි, එය බැලියයුතු කියා හිතෙන්නට හේතුව වන්නේ මිනිසා විසින් මිනිසුන්ට කල වැරදි තේරුම් ගන්නට, මනුෂ්‍ය ඉතිහාසයේ මහා අත්වැරැද්ද තේරුම් ගන්නට, මනුෂ්‍යත්වයේ සැඟවි මහා අමනුෂ්‍යත්වය තේරුම් ගන්නට, කුමනාකාරයේ රහසිගත වැරදි ඉතිහාසයේ ඉඩ හසර තුල අප විසින් කරන්නට ඇති
කියා තේරුම් ගන්නට, කෙටියෙන් කියනවා නම් ලෝකයේ ඉතිහාසය තේරුම් ගන්නට මේ චිත්‍රපට වලින් අපට ඉඩ ලැබෙනා නිසාවෙන්.
පෙර වසර වල අපේ ආදරය දිනාගත් Schindler's List, Saving Private Ryan, සහ Hotel Rwanda වැනි චිත්‍රපට වලින් පෙන්වාදුන්, විවරකර දුන් කවුලුව තුලින් ඊටත් වඩා පෘථුල ලෙස අප විසින් අපව දැකගන්නට මේ චිත්‍රපටය තුලින් ඉඩ ලැබෙනවයි කියලයි මගේ සිතුවිල්ල. අටුවා ටීකා ලිව්ව ඇති 2013 වසරේ අවසාන කාර්තුවේ චිත්‍රපටශාලා වලට පැමිණි බ්‍රිතාන්‍ය සිනමා අදියුරු Steve McQueen ගේ 12 Years A Slave චිත්‍රපටය ගැනයි මේ මෙච්චර වෙලා ඔබව වටේ යැව්වේ. චිත්‍රපටය කථාකරන්නේ ඇමරිකාවේ මෑත අතීතයේ [කොහොමත් ඇමෙරිකාවට තියෙන්නේ මෑත අතීතයක් තමා] සටහන් ව ඇති බියජනක, කුරිරු, දාමරිකත්වයෙන් පිරි, වහල්භාවය ගැනයි. චිත්‍රපටය ඔබ නරඹනකොට සමහර කොටස් ඔබේ මතකයෙන් මැකී නොයනු ඇති. ඒ මතකය ඔබේ සිතට වද දෙනු ඇති. 12 Years A Slave යනු චිත්‍රපටි ලෝලීන් විසින් අනිවාර්යයෙන් ම නරඹන්නට උවමනා එකකැයි කියන්නේ අන්න ඒ නිසයි.
12 Years A Slave හී සාකච්ඡාවට බඳුන්වන්නේ සෝලමන් නෝතප් (Chiwetel Ejiofor) ගේ කතාන්තරයයි. නෝතප් කියන්නේ නිවු යෝර්ක් නුවර සරටෝගා හී ජීවත් වන නිදහස් මිනිසෙක්, ඔහු වීනා වාදනයට සහජ දස්කම් දැක්වූවෙක්. සුදු මිනිසුන්ගේ නිවාස සහ ප්‍රියෂම්භාශනයන්හී නෝතප් නොවරදින සාමාජිකයෙකු වන්නේ ඒ නිසයි. කෙසේ හෝ එක දිනෙක සොලමන් වෙත රැකියා යෝජනාවක් ලැබෙනවා, ඒ නම්, නගරයෙන් නගරයට ගමන් ගන්නා සර්කස් කණ්ඩායමක නිත්‍ය වීනා වාදකයා ලෙස සේවය කරන්නට, මෙසේ නෝතප් වෙත මේ යෝජනාව කරන්නේ සුදු මිනිසුන් දෙදෙනෙකු වන බ්‍රවුන් (Taran Killam) සහ හැමිල්ටන් (Scoot McNairy) විසින්. සුදු මිනිසුන් දෙදෙනාව විශ්වාස කරන නෝතප් විසින් ඔවුන් හා එක්වූවත් සුදු මිනිසුන් දෙදෙනා විසින් කරන්නේ නෝතප් ව කලු වහලෙකු ලෙස විකුණාදැමීමයි. එතැන් සිට දිග හැරෙන්නේ 12 වසක් පුරාවට දිවෙන
නෝතප්ගේ වහල් සේවය තුල කරුණාවත් ස්වාමියෙකු වූ ෆෝර්ඩ් (Benedict Cumberbatch) ගේ සිට යක්ෂ වතු හිමිකරුවෙකු වන එප්ස් (Michael Fassbender) දක්වා දිවෙන නිදහසේ මිහිර සොයන ගමනයි.
12 Years A Slave යනු රසවත් ම චිත්‍රපටයක් නොවේ. ඒත් එය සුවබර කතාන්තරයක් ලෙස ප්‍රස්ථාර ගතවනු වලකන්නට බෑ. චිත්‍රපටය තුලදී ඔබට ඉතා දුක්බර දර්ශන නරඹන්නට වෙනවා පමණක් නොව, ඒවා බලන්නට පවා අසීරු වෙහෙසකර ඒවා ද වෙනවා. විටෙක ඔබව සමහර දර්ශන නිසා බියෙන් හැකිලෙනු නොඅනුමානයි. චිත්‍රපටයක් තුල රංගනයේ යෙදී සිටින්නන්ට බිය නැතිව අහංකාරව තමා මේ චරිතයට සාධාරණයක් ඉටු කල බව පෙන්වා දෙන්නට හැකි චිත්‍රපටයක් බව ගැටලුවකින් තොරව කියන්නට පුලුවන්, චිත්‍රපටයේ අදියුරු ස්ටීව් මැක්වීන් වෙත චිත්‍රපටය තුලින් තමා කියන්නටයන කතාවට නියම වටිනාකම ලැබී ඇති බව පෙන්වා දෙන්නට හැකියි. අග්‍රගන්‍ය වූ සුපිරිම දර්ශන වලින් යුක්ත මේ චිත්‍රපට වසරේ හොඳම චිත්‍රපටවලින් එකක් යැයි කියනු විනා වෙන කියන්නේ කුමක්ද?
චිත්‍රපටයක් ගැන කතා කරන විට එහි රඟන්නන්ගේ හැකියාවන් තක්සේරු කරන්නේ නැතුව චිත්‍රපට ගන කතාකරන එක වස පාඩුවක් කියලා හිතෙන්නේ මෙ වගේ චිත්‍රපටයක් බලනකොටයි. සොලමන් නෝතප් හෙවත් ප්ලැට් ලෙසින් රඟන ඡිවිටෙල් එජයිෆෝ [Chiwetel Ejiofor] ගේ අපූරු රංගනය කලුමිනිසෙකුගේ දුක්බර අතීතයේ භාවයන් ඉතාමත් සුන්දර ආකාරයෙන් පෙනවා දෙනවා.., ඔහුගේ හැඟීම් සහ අනෙකුත් චරිත සමඟින් අන්නිවේදනය කරනාවිට නෝතප්ගේ චරිතය තුල ජීවත් වන ආකාරය අංකුර රංගන ශිල්පීන් බොහෝ දෙනෙකුට සිය අත්පොතේ සටහන් තබාගන්නට තරම් වටිනවා. සියයට සියයක් ම මුහුණින් පලකරන හැඟීම් සමඟ ගනුදෙනු කරන චරිතයක් එජයිෆෝ විසින් රඟපෑවත් ඔහුට ඔස්කාර් වාසනාව නම් හිමිවූයේ ඔහුව හොඳම රංගන ශිල්පියා සඳහා වූ ඔස්කාර් සම්මානයේ නාම යෝජනාවක් ලෙස ම පමණක් තබමින්. එහෙත් ඔහුට ඒ නාමයෝජනාව තුලින් පමණක් තවත් රංගනය සඳහා දොරටු විවර වෙනවාට සැකය නෑ,
පැට්සි ලෙස චිත්‍රපටය තුල සිය සලකුණු තැබීම කරනා ලුපීටා න්‍යොංගෝ [Lupita Nyong'o] සිය චරිතයට උපරිම සාධාරණය ඉටු කරන්නේ ඉතාම සුන්දර ආකාරයට, සුදු පාලනය තුල හුස්ම ගැනීම පමණක් තමන්ට රිසි ආකාරයට කරන්නට ඉඩ හසර පවතින ඒ රුදුරු වහල් භාවය තුල නීග්‍රෝවෙකු ගේ අයිතීන් කප්පාදුවේ උච්චතම අවස්ථාව ලෙස පැට්සි විසින් සිය ස්වාමියා එප්ස්ට නොදන්වා සෑම රැයකට ඔහු විසින් ගොදුරු කරගනු ලබන සිය සිරුර පිරිසිදු කරගන්නට සබන් රැගෙන එන විට එප්ස් හට හසු වීම සහ ඉන් කුපිත වූ ඔහු විසින් පැට්සි වෙත දෙන දඬුවම හදවත මෙන්ම දෙනෙතද තෙත් කරන්නේ නිරායාසයෙන්, ඒ රංගන ප්‍රභාවයට තුති පිදිය යුත්තේ සිය පළමු චිත්‍රපට රංගනය ලෙස ඉදිරිපත් කරන ලුපීටා වෙතද එසේත් නැති නම්, අදියුරු ස්ටීව් මැක්වීන් වෙතදැයි ප්‍රෂ්ණාර්ථයක් පැණ නඟින්නේ නිරායාසයෙන්. එහෙත් චිත්‍රපටය අවසන ප්ලැට්[නෝතප්] එප්ස් වෙති නිදහස්ව රැගෙන යන අවස්ථාව වන විටත් පැට්සි ගේ රඟපෑම අපව ඈ වෙත පෙමින් බන්ධනය කරවා අවසානයි. ඊට අමතරව චිත්‍රපටයේ නම් පෙල තුල බ්‍රැඩ් පිට්ගේ නම සඳහන් වූ බාස් නමැති චරිතය චිත්‍රපටය තුල වෙනසක් ඇති කරනු ඇති බව සිතුවත් අවසාන හාගයේ චිත්‍රපටය වෙත එකතුවන තුල උක්ත චරිතය චිත්‍රපටය තුල රඟපෑ කොටස සෑහේදැයි මට පවතින්නේ ගැටලුවක්, එහෙත් ඒ ගැටලුව සමනය වන්නේ සිය අතීතය බියෙන් හා සැකයෙන් බාස් වෙත ප්ලැට් විසින් කියන ආකාරය තුල බ්‍රැඩ් පිට් යොදා ඇත්තේ කතාවේ වැදගත්ම හැරවුම් ලක්ෂය වෙත යැයි මතක් වෙත්දී. ඊට අමතරව, බෙනඩික්ට් කම්බර්බැච් කාරුණික ස්වාමියා ෆෝර්ඩ් ලෙසද, මයිකල් ෆස්බෙන්ඩර් රුදුරු වතු හිමිකාර එප්ස් ලෙසින්ද සිය චරිතවලට සාධාරණය හිමි කරවන බව ඔබ මේ අපූරු සිනමා නිර්මාණය නැරඹුවෝතින් වැටහේවි.
කතාව ආරම්භය අපට පුංචි අපහසුවක් ගෙන ආවත් එය සමනය වන්නේ කතාව තුල අප චිත්ත සටහන් ගොඩ නංවා එහි පූර්ව අපර සන්ධි ගලපා ගැනීමෙන්, චිත්‍රපටයේ ආරම්භය එප්ස්ගේ උක් වගාව තුල නොතප් උක් පාහින දර්ශනයක් වුවත්, වැඩ අවසන්ව සිය නැවතුමට ආපසුව තමන්ට කෑමට ලැබුණු බෙරී වලින් තනා ගත් තීන්තයෙන් ලියුම්ක් ලියන්නට සැරසෙන තැනින් කතාව සත්‍යමය ආරම්භය සටහන් වෙනවා..! එනම් කතාව
මැද සිට ෆ්ලෑශ්බැක් එකකින් පසුව කතාව මැදට පැමිණ එතැන් පටන් අවසානය තෙක් ගලායාමක් තමයි තිබෙන්නේ. මෙය සාම්ප්‍රදායික ආඛ්‍යානයකට බෙහෙවින් වෙනස්, ඒත් කතාවේ හරයට හෝ කතාව කීමේ ආකාරයට එය ගැහැටක් වන්නේ නැති තරම්. කතාව තුල අවසානය මැද හා ආරම්භය බෙහෙවින් පැහැදිලියි, ඒ අතර පවතින සිදුවීම දර්ශන ලෙස අපගේ මනසට එක්කාසු වන්නේ මේ අපූරු ආඛ්‍යානය නිසා වෙන්නට හැක්බව මගේ අදහසයි. නෝතප්ගේ වහලෙකු ලෙස ගෙවුනු වසරවල්, වෙන වෙනම අපට පෙන්වන්නට පුලුවන් තරම් පිළිවෙලක් මේ ආඛ්‍යානය තුල සැඟව ඇති බව නම් සත්‍යයක්.
අදියුරුව තරමට ම, තාක්ෂණික මූලිකාංග භාවිතය, හාන්ස් ශිමර්ගේ[Hans Zimmer] පසුබිම් සංගීතය එමෙන්ම ශෝන් බොබිට්ගේ[Sean Bobbitt] තිරරචනය සහ අමතක නොකලයුතු සුපිරි සංස්කරණය, මේ සියල්ලම සහිත නිර්මාණයකට උදාහරණයක් ලෙස පෙන්වන්නට පුලුවන් අති දුලභ අවස්ථාවලින් එකක් ලෙස 12 Years A Slave චිත්‍රපටය අවිවාදිතයි. ශ්‍රේණිගත කීරීම් වලට අනුව මෙය වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් ලෙස ලැයිස්ති ගතවී ඇත්තේ. එය අත්‍යන්තයෙන්ම විය යුත්තක්. අතිභයානයක හිංසනය, කාමුක දර්ශන සහ නිරුවත් රැඟුම් මේවා සියල්ලම අඩු වැඩි ආකාරයෙන් තියෙනවා. එහෙත් මා පුද්ගලිකව සිතන්නේ මේ චිත්‍රපටය සියල්ලන්ම නැරඹියයුතු චිත්‍රපටයක් ය කියලයි, මෙහි අඩංගු වන විවිධාකාරයේ ලිංගික දර්ශන වලින් උලුප්පන්නේ තුට්ටු දෙකේ කාමුකත්වයක් නොව මනුසත්කම අමනුස්ස කමට යටවූ කල මනුසත්කමේ මරණය සිදුවන ආකාරයයි. ඉතින් එය පෙන්වන්නට මීට වඩා වැදගත් ආකාරයක් තිබේද යන්න මට ගැටලුවක්. කිසිවෙකු මෙය එහි අඩංගුවන කාමුකත්වය අත්විඳින්නට පමණක් නරඹනවා නම් ඔහු/ඇය සිය මානසික සෞඛ්‍යතාව යහපත් ආකාරයෙන් තිබේද යන්න වෛද්‍යවරයෙකුගෙන පරික්ෂා කරගැනීම වැදගත්.
හැඟුම් බර චිත්‍රපටයක, සෑම චරිතයක්ම, සෑම දර්ශනයක් ම, සෑම අදියුරු පෙළහරක්ම පවසන්නේ එහි ඇති සංවේදී තාවයයි. එජයිඕෆෝ පමණක් නොව ෆස්බෙන්ඩර්,
න්‍යොංගෝ මේ සියල්ලන් ම චිත්‍රපටයේ අද්විතීය බවේ කොටස් කරුවන්. හොඳම සහය නිළිය ලෙසත්, හොඳම චිත්‍රපටය ලෙසත් ඔස්කාර් සම්මාන ලබන්නත්, හොඳම නලුවාට නාමයෝජනා වන්නටත් සැලසීම තුලින් චිත්‍රපටය පිළිබඳව සෑහෙන අදහසක් ගන්නට අපහසු නැති බව මගේ අදහසයි.
Lishan
Puwakovita.
https://www.facebook.com/lishwebber
@lishwish
@lishwish
No comments:
Post a Comment