෴පළවෙනි කොටස෴
හිත කොයි
වගේද හිතන විදිය කොහොමද දැනෙන හැඟීම් මොනවා ද කියලා කියන්න මොනතරම් අමාරුද? ඒවාට
හැඩයක් පාටක් ගති ලක්ෂණයක් නැහැ. ඒ ගැන කියන්න වෙන්නේ උපමා වලින්ම තමා. කොයි ලෝකේ
ගිහින් ආවත් අපිට ගෙදර ආවාම වගේ සනීපයක් දැනෙන්නේ නෑ. ඒකත් හරියටම අනිත් අය මොනවා
හිතනවාද කරනවාද කියලා බැලුවාට සැනසිල්ලක් නෑ තමන් කරන කියන ඒවා දිහා බලලාම හිතේ
තියන අවුල ලිහා ගන්න ඕනා වගේ වැඩක්. මේ වාගේ
දහසක් සිතිවිලි අතරේ සැරිසරමින් සිනිඳු සුදු
වැල්ල අස්සේ සනීපෙට කකුල් දෙක ඔබා ගෙන හුළඟට හෙලවෙන බෝ පත් දිහා බලාගන නිශාදි
හිටියේ. තමන් ගේ හිතත් හදා ගන්න බැරි
විදියට බෝ පත් තරමටම හෙලවෙනවා කියලා නිශාදිට දැණුනා. පුබුදු ගෙදරින් ගිහින් දැන්
මාස දෙකකටත් වැඩියි. තාමත් නිශාදිට හිතා ගන්නවත් බෑ අවුරුදු පහළවක්ම ජීවිතේ බෙදා
ගත්තු පුබුදුට තමන්ට මෙහෙම දෙයක් කරන්න හිත දුන්නේ කොහොමද කියලා. පුබුදු ටික
කාලයක් තිස්සේ ඉඳන් වෙනස් කියලා නිශාදිට දැනුනත්, ඒකට හේතුව
කියලා නිශාදිට මුලින් ම හිතුනේ කාර්යාලයේ වැඩ අධික වීම කියලා. නමුත් ඒ ඔක්කොම
වෙනස් වුනේ පුබුදුම ඇවිත් තමන්ට වෙනත් සම්බන්ධයක් තියෙනවා කියලා නිශාදිට කියපු
දවසේ. පුබුදු කියන්න කලින් පුංචි පුංචි සැක හිතෙන සිදුවීම් වෙලා තිබුනත් නිශාදී ඒවා ඒ තරම් හිතට ගත්තේ නැත්තේ මේ තරම්
කාලයක් ගිහින් දාලා යන්න තරම් පුබුදුට තමාව එපා වෙයි කියලා නිශාදිට නිකමටවත්
හිතුණේ නැති නිසා. මාස දෙකක් තිස්සේ කාටවත් නොකියා හිර කරගන හිටිය රහස දැන්නම්
නිශාදිට දරාගන ඉන්න හොඳටම අපහසුයි. යාළු මිත්‍රයන් කිහිප දෙනෙක් ඇරෙන්න අම්මලාටවත්
අසල වැසි කාටවත් නිශාදි දැනගන්න ඉඩක් නොතිබ්බේ සිද්ධ වුණ දේ හිතා ගන්නවත් බැරි
නිසා. පුබුදුට නිශාදිගේ හිතේ මොන තරම් ආදරයක් තිබුණා ද කියලා දැනෙන කොට ආයෙත්
නිශාදිගේ ඇස් දෙකට උනපු කඳුළු හිමින් සැරේ
පිහදා ගන්න ගමන් වට පිට බැලුවේ දුව කොහෙද කියලා. දුව බෝ මළුවේ කෙළවරක වාඩි වෙලා
කෝටුවකින් වැල්ලේ ඉරි අඳිමින් ඉන්න හැටි දැක්කාම ආයෙත් නිශාදිගේ හිත පිච්චුනා.
දුවට තව මාස කිහිපයකින් අවුරුදු දාහතරක් සම්පුර්ණ වෙනවා. තරුණ වියට අඩිය තියන
නෙළුම්ට සිද්ධ වෙලා තියන දේ හංගන්න පුළුවන් කමක් කොහොමටත් නෑ. වෙලාවකට දුව
නිශාදිටත් වඩා දැනුම් තේරුම් ඇති කෙනෙක් වගේ වැඩ කරන්නේ. නෙළුම් නොහිටින්න මේ වෙන
කොට තමා මනසින් මීට වඩා ආගාධයකට වැටිලා ඉන්න ඉඩ තිබුණා කියලා නිශාදිට හිතුනා.
හෙට උදේම අම්මලාගේ ගෙදර යන්න ඕනා කියලා නිශාදිට හිතුණේ ඔක්කොම විස්තරේ අම්මා එක්ක කියලා හිත නිවාගන්න ඕනා කියලා හිතුණ නිසා. ඒ වුණාට ගෙදරම ඉන්න පුබුදු ගේ අම්මාටයි තාත්තාටයි නොකියා මහ ගෙදර යන්න හිත හදාගන්න බෑ වගේ කියලා නිශාදිට හිතුණා. පුබුදුගේ අම්මයි තාත්තයි හිතාගන ඉන්නේ රාජකාරි කටයුත්තකට පුබුදු මාස කිහිපයකට පිට රටකට ගිහින් කියලා. වෙනදත් ඒ වගේ ගමන් යෙදෙන නිසා කාටවත් ඒකෙ විශේෂයක් දැනුණේ නෑ. පුබුදු ගෙදරින් පිට වෙන්න තෝර ගත්තෙත් අම්මයි තාත්තයි ගමේ ගෙදර ගිහින් හිටිය දවසක. ගෙදර උණ කලබැගෑනි එකක්වත් ඒ දෙන්නට දැන ගන්න ලැබුණේ නෑ ඒ නිසා. වෙනදා වගේම ගෙදරට දුරකථන ඇමතුම් ලබාදෙන පුබුදු අම්මටත් දුවටත් කතා කරන්න අමතක කරන්නේ නෑ. ඒත් නිශාදිට පුබුදු කතා කරන්නේ නෑ නේද කියලා අම්මාට කලපනාවක් උණේ නෑ. නිශාදිගේ හිත පුබුදු කතා කරන වෙලාවට දුකට පත්වෙනවා කියලා නෙළුම් දැනගන හිටියා.
“අම්මා මාත් තාත්තා එක්ක කතා නොකර ඉන්නද?” එහෙම වෙලාවක නෙළුම් ඇහුවේ ඒ අවස්ථාව මඟ ඇරලා එළියට ගිය නිශාදිට තුරුළු වෙන ගමන්.
“එහෙම කරන්නේ නෑ රත්තරං. එතකොට තාත්තාට දුක හිතෙයි.”
“අම්මාටත් දුකයි නේ” නිශාදි ඒ වෙලාවේ නෙළුම්ව තුරුළු කරගෙන ඉඹගත්තා.
“අම්මා යමුද?” නිශාදි ගේ සිතිවිලි දැහැන බිඳිමින් නෙළුම් ඇවිත් නිශාදිගේ උරහිසෙන් අත තිබ්බා.
නිශාදි මොකවත් නොකියාම වාඩි වෙලා උන්න තැනින් නැගිට්ටා.
“අම්මා මොනවාද පන්සල් ඇවිත් ප්‍රර්ථනා කරේ?”
“මොකුත් නෑ........... පන්සල් ඇවිල්ලා අපි ප්‍රර්ථනා කරන්නේ නෑනේ පුතේ”
“ඇයි තාත්තා ආයේ ගෙදර එන්න කියලා?”
“.............නෑ..”
“මම නම් එහෙම හිතුවා”
නිශාදි නොදැනීම කෙල්ලගේ අත අල්ලා ගත්තා. අහිංසක දරුවා. ඒක ප්‍රාර්ථනා කරාට එහෙම වෙන්නේ නෑ කියලා නොතේරන හැටි. මේ වගේ උස මහත් වුණ ලස්සන කෙළි පොඩ්ඩ දාලා ගිහින් පුබුදු කොහොම ඉන්නවාද කියලා නිශාදි ගේ හිත මුර ගෑවා.
“ඇයි අම්මා ආච්චිලාට කියන්නේ නැත්තේ තාත්තා අපිව දාලා ගිහින් කියලා”
නෙළුම් අහන ඒවාට නිශාදි ළඟ හරි හමන් උත්තරයක් තිබුණේ නෑ. නිශාදි කවදාවත් කිසි කෙනෙක් එක්ක පුබුදු ගේ වැරද්දක් කතා කරන පුරුද්දක් තිබුණේ නෑ. වැරද්දක් තිබුණත් නිශාදි හැම වෙලේම ඒක සාධාරණීකරණය කරන්න හරි නැත් නම් නිවැරදි කරන්න හරි උත්සාහ කරා. පුබුදුට අපහාසයක් හරි ඇනුමක් බැනුමක් හරි කාගෙන් හරි උණොත් ඊට පස්සේ නිශාදිට ත් එහෙම කරන පුද්ගලයන්ව ආයෙත් ආශ්‍රය කරන්න හිතෙන්නෙත් නෑ. නමුත් පුබුදුට නම් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. කවුරු නිශාදිට මොනවා කළත් කිවුවත් පුබුදුට ඕනා නම් පුබුදු ඒ අයව ආශ්‍රය කළා. එහෙම දේවල් නිශාදි ගේ හිතට දුකක් ගෙනාවා උණත් ඒවා විසඳගන්න උත්තර තිබුනේ නෑ.
පන්සලට ආවේ හිත ටිකක් නිස්කලංක කරගන්න උණත් නිශාදිගෙ හිත එක මොහොතකටවත් නිස්කලංක උනේ නෑ. හිත නිස්කලංක කරගන්න ලෝකේ පුරා යන්න ඕනා නෑ කියලා නිශාදි දැනගන හිටියා උනත් පනසලට ගියේ ඒකෙන් පුංචියට හරි හිතට පිහිටක් වෙයි කියලා හිතාගන. පුබුදුයි අතීතයයි එක්ක ජීවත් වෙන්නේ නැතිව ඉස්සරහාට කරන්න ඕනා මොනවද කියලා සිහි බුද්ධියෙන් තරුණ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් හැටියට හිතන්න ඕනා කියලා නිශාදි කී වෙනි වතා වටදෝ ආයෙත් තමන් ගේම හිතට කියා ගත්තා.
“අම්මා ඔය තරම් හිතන්න එපා. වැඩක් නෑනේ. අම්මා කාටවත් නොකියා දුක් වෙනවා. රෑට අඬනවා. මම ආස නෑ. ලොකු අම්මාට හරි කියන්න.”
නෙළුම් මතක් කළේ නිශාදි ගේ අක්කාවය.
“හෙට යමු එහෙ”
පුබුදු නැති ජීවිතයක් කොහොම හිතාගන්නද කියලා නිශාදි තවම තෝරා ගන්න බැරිව ඉන්නේ. නිශාදියි පුබුදුයි එකතු වෙලා හදපු ගෙදර දැන් ඉන්නේ නිශාදි. අපි දෙන්නාගේ ගෙදර කියලා ගේ හදපු මුල් කාලේ ගේ ඉස්සරහා මිදුලට වෙලා දෙන්නත් එක්ක ගේ දිහා බලාගන හිටිය හැටි නිශාදිට මතක් උණා. මේ වගේ මොනතරම් දේවල් ගොඩක් පහුගිය කාලෙට එකතු වෙලා තියෙනවාද? ගේ තියෙන්නේ පුබුදුගේ නමට. නිශාදිත් මේ වෙනතුරු හරි හම්බ කරපු දේවල් මේ ජීවිතේටම ගෙවිලා ගියා මිසක් ඉතුරු කරපු මුදලක් නිශාදි ලඟ තිබුණේ නෑ. පුබුදු හදිස්සියේ වත් තමන්ට මේ ගෙදරින් යන්න කියලා කිවුවොත් නිශාදිට යන්න කියලා තැනක් නෑ. නිශාදි ගේ මහ ගෙදරත් මේ වෙන කොට පොඩි මල්ලි විවාහ වෙලා පදිංචි වෙලා හිටියේ. පොඩි කාලේ හැදුන තාමත් අම්මා තාත්තා ඉන්න ගෙදර උණත් දැන් ඒක නිශාදිට ආගන්තුකයි. ඒත් මොකද්දෝ පැහැදිලි කරන්න බැරි හේතුවක් නිසා පුබුදු තමන්ට කවදාවත් එහෙම කරන්නේ නැති වෙයි කියන විශ්වාසයක් නිශාදිගේ හිතේ තිබුණා. මෙච්චර දෙයක් වෙලත් නිශාදිට පුබුදුව විශ්වාස කරන එක නවත්ත ගන්න පුළුවන් කමක් නෑ.
පුබුදුගේ අම්මයි තාත්තයි මේක කොහොම භාර ගනීද කියලා නිශාදි කල්පනා කරන්න පටන් ගත්තේ දැන් ඉතිං මම මේකෙන් ගොඩ ඇවිත් ජීවිතේ ඇත්ත තත්වෙට මුණ දෙන්න ඕනා කියලා හිතට දැනෙන හින්දා. තාමත් පුබුදු නිශාදි ගෙන් නීතියෙන් වෙන් වෙන්න ඕනා කියලා ඉල්ලීමක් කළේ නෑ. පුබුදුට එහෙම දෙයක් ඇත්තටම ඕනාද කියලා සැකයක් නිශාදිගේ හිතට ආවා. මොන තරම් කාලයක් ජීවිතේ එක ළඟින් හිටියත් අනිත් කෙනාව තේරුම් ගන්න එක මොන තරම් අමාරු දෙයක්ද? කොහොමත් මිනිස්සු නිරන්තරයෙන් වෙනස් වෙනවා. නිශාදි මේ ලෝකේ අනිත් හැමදෙනාගේම වෙනස්කම් ගැන පිළිගත්තා. පුබුදු ගැන විතරක් ඇරුණාම. ඒ උණාට පුබුදුත් අයිති ඒ ගොඩටමයි කියලා තේරුම් ගන්න එක අමතක වෙලා තිබිලා තියෙන්නේ මේ දේවල් වෙනකන්ම. මේ තරම් වයසකට ගිහිනුත් නිශාදි මේ වගේ දේවල් ගැන හිතන එක නෙළුම් ටත් වඩා පහළ මට්ටමක කියලා නිශාදිට වැටහිලා තිබුණේ. නෙළුම් මේ ප්‍රශ්නෙදි හැම වෙලේම පෙන්නුවේ පුදුමාකාර පරිනතබාවයක් කියලා නිශාදිට හැමවෙලේම හිතුණා. නෙළුම් කිසිම වෙලාවක පුබුදුගේවත් නිශාදිගේවත් වැරද්දක් දැක්ක බවක් පේන්න තිබුණේ නෑ. නමුත් නිශාදිගේ හිතේ කරදරත් දුකත් නෙළුම්ට හොඳටම දැනෙනවා කියලා නිශාදි දැනගන හිටියා.
“අම්මා...... ගෙදර කවුරු හරි ඇවිත් වගේ.” නෙළුම් ගෙදරට යන පාරට හැරුණ ගමන් කිවුවේ ගේ ඉස්සරහා නවත්වලා තිබුණ වාහනේ දැකලා.
“දකලා පුරුදු වාහනයක් නෙමේ නේද පුතේ.” නිමාලි අඩිය ඉස්සර කරන ගමන් කිවුවා.
“තාත්තාද දන්නේ නෑ” නෙළුම්ගේ මුණේ බලාපොරොත්තුවක් ඇඳෙනවා නිශාදිට පෙනුණේ හදිස්සියෙන් අඩිය තියන ගමන්. වැඩි පුර දේවල් හිතන්න හොඳ නෑ. නිශාදි තමන්ටම කියාගත්තා. ඒත් හිතට හොඳටම දැනුණා තාමත් පුබුදුට එන්න හිත ඇතුළේ ඉඩ ඕනෑවටත් වඩා තියෙනවා කියලා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
ලබන කලාපයට…
නිරෝෂා චන්ද්‍රමාලි ගුණවර්ධන
No comments:
Post a Comment