Latest News

සැඳෑ සමය..




වැහි මන්දාරම හඬලන……….. හවසට



කණාටු පොල් ගහ වැනෙනව ....හුළඟට



දිරච්ච අතු ටික ඉගිලෙන ………වහලට



වැටේවි දැයි බය හිතෙනව …….හරියට



 



නිවා දැමුවෙ ලිප අගේට ……..ඇවිලුන



හිල් වුනු වහලෙන් වැහි දිය….. ගිලිහුන



කුස ගිනි හැඬුවත් රෑ බත ……..නැතිවුන



ඇහැ පිය වෙද මැටි පොලවේ තෙත් වුන



 



 



සුදු පාටට දුර ඈතට……….. දිලිහෙන



උස දාගැබ කවදත් මට ……සිහි වෙන



නැතිදා වඳිනට දණ බිම….. ඇනගෙන



කවදා තුටු වෙද දෑතම…….. වෙව්ලන



 



 



මයිලෙක දුර වෙද ගෙදරට….. යන එන



කොහොමට ගාටන්නද මම…. හෙට දින



රිදුමක නැවතුනු කුණු කය….. අරගෙන



කුමකට දිවි බර ගෙන යනු ...මෙලෙසින



 



ගත සිත දුබලය සවි බල ……....පිරිහුන



තනි කම නොදැනිම තනියට ...පැමිණුන



වැහිබර අහසක පසු බිම……… සරසන



සෙලවෙන ගස මෙනි අතු ඉති .වැහැරුන   




මාලා විජේකෝන්

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates