Latest News

දුම්බර කඳුවැටියේ අසිරිමත් පිටවල පතන

    ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට ශ‍්‍රී ලංකාව යනු සීමිත භූමි ප‍්‍රමාණයක් සහිත කුඩා දූපතකි. එසේ වුවද එම සීමිත භූමි ප‍්‍රමාණය තුළ දක්නට ලැබෙන භූගෝලීය හා පාරිසරික විවිධත්වය අසීමිතය. විශාල බිම් ප‍්‍රමාණයක් සහිත රටවල් සමග සසඳන කල එය ඉතා ඉහළ මට්ටමක පවතී. වන බිම්, ගංඟා, ඇළ දොළ, කඳු වැටි වන සතුන්ගෙන් පිරි පරිසර පද්ධති රාශියක් මෙම භූමිය තුළ හඳුනාගත හැකිය. දුම්බර කඳුකරය යනු ශ‍්‍රී ලංකාව තුළ පිහිටි මෙම සියළු අංගයන්ගෙන් පරිපූර්ණ වූ භූගෝලීය මෙන්ම ජෛව විද්‍යාත්මක වැදගත්කමක් සහිත සුන්දර බිම් කඩකි.

  වලාවන් සිඹින මහා ගිරි ශිඛර, ඒ අතරින් ගලා යන දිය කදුරු, කඳුවැටි පුරා විසිරී පවතින වනාන්තර හා පතන් බිම් මෙන්ම වන සතුන් දුම්බර කඳුකරයට වන උයනක සිරිය ගෙන එයි. මෙහි ඇති උස් කඳු වැටි දිනයේ බොහෝ 

වේලාවක් මීදුමෙන් වැසී පවතින නිසාවෙන් අතීතයේ පටන්ම එම ප‍්‍රදේශවල ජනයා ‘දුමින් බරයන අරුතින් එයට දුම්බර යැයි කීහ. කඳුවැටියේ බටහිර බෑවුම් ප‍්‍රදේශය අධික ලෙස බට පඳුරුවලින් ගහණව පැවති බැවින් බටදඬු කඳුවැටියලෙසින්ද පැරැුන්නෝ මෙය හැඳින්වූහ. කඳුවැටි සහ මුදුන් බොහොමයක් සහිත මෙම කඳුකරයේ එකිනෙක ආසන්නයෙන් පිහිටි උස් ශිඛරයන් පහක් මෙරටට පැමිණි ඉංගී‍්‍රසි ජාතිකයන් දුටුවේ මිනිසෙකුගේ මිට මෙලවූ අතක ඇඟිලි පිහිටි ආකාරයටයි. එබැවින් ඔවුන් විසින් එය නකල්ස්කඳුවැටිය ලෙස හඳුන්වන ලදී. කෙසේ නමුත් අද මහනුවර දිස්ත‍්‍රික්කයට අයත් දුම්බර ප‍්‍රදේශය හා එහි පිහිටි කඳුවැටි මෙන්ම මාතලේ දිස්ති‍්‍රක්කයට අයත්ව විහිදෙන එම සමස්ත කඳුකර කලාපයම දුම්බර කඳුකරයහෝ නකල්ස් කඳුකරයලෙසින් හඳුන්වනු ලැබේ. 

 

    වර්තමානයේදී මෙම සමස්ත කඳුකර කලාපයටම නකල්ස්යන නාමය භාවිතා වුවත් නකල්ස්යනු එහි එක් කඳුවැටියකට අයත් මුදුන් කිහිපයක් පමණි. විවිධ දිශාවන් ඔස්සේ විහිදෙන කඳුවැටි රාශියක් මෙම ප‍්‍රදේශයේ දක්නට ලැබෙන අතර මද සහ මොහොර බෑවුම් සහිත කඳුවැටි, නිම්න, නෙරු හා ද්‍රෝණි මේ භූමියට විචිත‍්‍රවත් බවක් ගෙන එයි.

   ප‍්‍රාග් ඓතිහාසික යුගය තෙක්් දිව යන පුරාවෘත්ත සහිත ප‍්‍රදේශයක් ලෙසද මෙය හඳුනාගත හැකිය. රාම-රාවණ කතා පුවත, විජය-කුවේණි පුවත මෙන්ම ආදිවාසීන් සම්බන්ධයෙන් වූ විවිධ ජනශ‍්‍රැති හා ජනප‍්‍රවාද මෙම ප‍්‍රදේශය හා බැඳී පවතින අතර ඒවා සනාථ කළ හැකි බොහෝ සාධකද දුම්බර කලාපයෙන් හමුවී ඇත. එසේම අනුරාධපුර, පොළොන්නරු යුගවලදී බොහෝ රජවරුන්ද දුම්බර කඳුපෙත ආශ‍්‍රිතව රැුකවරණය ලද බව සඳහන්ය. උඩරට රාජ්‍ය සමයේදී දුම්බර කඳුකරය ඇතුළු වන පෙත ආරක්ෂිත ස්ථානයක් බවට පත්ව තිබුණි. එසේ නමුත් ඉංගී‍්‍රසි පාලන සමයේදී මෙම කඳුකරයේ බොහෝ ප‍්‍රදේශ මුඩු බිම් පනතට යටත් විය.

    මහවැලි නදියේ සුවිශේෂී ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙසද, ජෛව විවිධත්වයෙන් යුත් අගනා බිම් පියසක් ලෙසද හඳුනා ගැනීමත් සමග දුම්බර කඳුකරයට අයත් වනාන්තර සුරැුකීමේ අවශ්‍යතාවය වඩාත් ඉස්මතු විය. ඒ අනුව 1980 වර්ෂයේදී රජය ගත් කැබිනට් තීරණයක් මත දුම්බරය කඳුකරය ඇතුළු වන පෙත ස්වාභාවික රක්ෂිතයක් බවට පත් කෙරිණි. ඉඩම් සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව වර්ෂ 1988 දී දුම්බර කඳුවැටිය සංරක්ෂණ ව්‍යාපෘතිය ඇරඹීය. ඒ අනුව කඳුකරයේ අඩි 3500 ට වැඩි උසින් යුතු භූමි ප‍්‍රදේශ රක්ෂිතයට ඇතුළත් විය. 2000 වසරේදී ජාතික උරුමයක් බවට පත්වූ මෙම කඳුකරය පසුව යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද ප‍්‍රකාශ කරන ලදී. එසේම මෙය පරිසර ආරක්ෂණ කලාපයක් ලෙසද නම් කර තිබේ.

    අර්ධ ශුෂ්ක කලාපීය ලක්ෂණයන් හැර ශී‍්‍ර ලංකාව තුළ දැකිය හැකි සියළුම දේශගුණික ලක්ෂණයන්ද සහිත දුම්බර කඳුකර කලාපයේ හමුවන සුවිශේෂී බිම් තීරයක් ලෙස පිටවල පතන හඳුන්වා දිය හැකිය. එය මෙම කලාපයේ නැගෙනහිරදිග බෑවුමෙහි පිහිටි ආකර්ෂණීය සංචාරක ඉසව්වක්ද වේ.  මාතලේ නගරයේ සිට රත්තොට රිවර්ස්ටන් ඔස්සේ කිලෝමීටර් 35 ක් පමණ දුර ගෙවා මෙම බිම වෙත ළඟාවිය හැකිය.

    පිටවල පතන් බිම පාරිසරික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් වන්නේ රාවණා පුරාවෘත්තය හා බැඳී ඇති නිසාය. එකල රාවණා රජතුමන් සිය දඬුමොණර යන්ත‍්‍රය ගුවන්ගත කිරීමට යොදාගත් භූමියක් ලෙස මෙය ජනප‍්‍රවාදයට එක්ව ඇත. එසේම වසර පන්දහසක් පමණ පැරණි යැයි කියැවෙන ගල් ආයුධ පිටවල පතන ප‍්‍රදේශයෙන් හමුවීමද ප‍්‍රාග් ඓතිහාසික යුගයත් සමග පවතින සම්බන්ධතාවය පෙන්වීමට වැදගත් සාක්ෂියකි.

     පිටවල පතන ප‍්‍රවේශය අසල පිහිටුවා ඇති වන සංරක්ෂණ කාර්යාලයෙන් අදාළ අවසරපත් ලබාගෙන පතන නැරඹීම සඳහා ගමන් කළ හැකිය. පරිසරයේ සුන්දරත්වය විඳගැනීමට මෙය අපූරු බිම් කඩකි. පතනේ මදක් ඉහළට ඇවිද ගිය විට පිටවල, රත්නින්ද, ඇටන්වල ආදී පුරාණයේ සිට පැවත එන ගම්මානද ඒවායේ ඇති හෙල්මළු කුඹුරු යායන්ද අලංකාර ලෙස දිස්වේ. ඊට ඉහළින් මහා පවුරක් සේ දැකගත හැක්කේ  මානිගල පර්වතයයි. ඉංගී‍්‍රසි පාලන සමයේදී මෙහි වතුවල සේවය කළ ඉන්දියානුවන් සිය සේවාමුර වේලාවන් දැනගත්තේත්, අවට ගම්මාන වාසීන් වේලාව දැනගත්තේත් මෙම ගල් තලාවේ පිහිටි කුහරයක් තුළට සූර්ය රශ්මිය වැටෙන විට ඇතිවන තැල්ලක් නිසාවෙන් බව තතු දත් ගම්වැසියෝ පවසති. මෙම පර්වතයට දුරින් ඈතින් ඈතට විහිදෙන දුම්බර කඳුයායේ කඳුවැටි අතර ඉහළින්ම දිස්වන්නේ මෙහි ඇති වඩාත් උස් කඳු මුදුන වන අඩි 6248 ක් පමණ උසැති ගොම්බානීයයි. තුන්හිස්ගල, යකුන්නේගල ආදී කඳු මුදුන්ද එම ඉසව්වෙහිම පැහැදිළිව දිස්වන අතර නැගෙනහිර දිසාවට නෙත් යොමු කරන විට මෙම ප‍්‍රදේශයට ලග්ගලයන නාමය ලැබීමට පාදක වූ ඓතිහාසික රාවණ යුගය හා සම්බන්ධකම් දක්වන ලකේගල කන්ද දැකගත හැකිය. ඊට වම් පසින් වූ භූමිභාගය මහියංගනය, දෙහිඅත්තකණ්ඩිය හා තවත් ඈතින් වූ දිගාමඩුල්ල පෙදෙසද පසු කරමින් ක්ෂිතිජ ඉම තෙක් දිව යයි.

    පතන වටා දිස්වන කඳු බෑවුම් බොහොමයක් ඉළුක් හා මානාවලින්ද, තෘණ තලාවන්ගෙන්ද වැසී ගොස් ඇති ආකාරය දැකගත හැකිය. ඉංගී‍්‍රසීන් විසින් එකල තේ වගාව සඳහා යොදාගත් සමහර භූමි ප‍්‍රදේශ එම වගාව ඉවත්වීමත් සමග මෙසේ මුඩු තණ බිම් බවට පත්විය. එසේම මේ අවට ගම්මානවල වැසියෝ තම ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගයක් ලෙස අතීතයේ පටන්ම හේන් ගොවිතැනෙහි නියැළුණහ. ඔවුන් විසින් අත්හරින ලද හේන් බිම්ද නිසරු පතන් භූමි බවට පත්ව තිබේ.

   වර්ෂා සමයකදී නම් දිය උල්පතින් පිරී ඉතිරී යන කුඩා පොකුණු පිටවල තැන්නේ ගල් තලාවන් මත දැකගත හැකිය. ඊසාන දිග මෝසම් වර්ෂා සමයේදී එසේ වුවද ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වැනි මාසවලදී මෙම පතන් බිම දුඹුරු පැහැ ගැන්වී වියළී යයි. එසේම දිය දහරාවන්ද සිඳී යයි. තැන්නේ ගල් තලාවන් මත තුනී පස් තට්ටු පිහිටා තිබීම මෙම තත්වයට වඩාත් හේතුවන අතර මෙම සමයේදී දැඩි සුළං දහරාවන්ද පිටවල පතන හරහා හමා යමින් වියළි බව තවත් වැඩි කරවයි.

    තැන්නේ කෙළවර දක්නට ඇති අඩි දහසක් පමණ එක එල්ලේ බෑවුම් වන ප‍්‍රපාතය හැඳින්වෙන්නේ පුංචි ලෝකාන්තයනමිනි. දුරින් දුරට පෙනෙන අලංකාර දර්ශනයන් සහිත පුංචි ලෝකාන්තය මෙහි පැමිණෙන සංචාරකයන්ගේ අතිශය ආකර්ශනයට ලක්වූ තැනෙකි. මේ අසල ඇති කුඩා වන ගොමුද පරිසරයට අපූරු සුන්දරත්වයක් එක් කරයි. ශී‍්‍ර ලංකාවට ආවේණික කුරුලූ විශේෂ අතරින් 16 ක් පමණ රිවර්ස්ටන්, පිටවල තැන්න හා ඉළුක්කුඹුර දක්වා වූ භූමි ප‍්‍රදේශය තුළ ජීවත් වන බවද සමස්තයක් ලෙස කුරුලූ විශේෂ 160 ක් පමණ මේ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජීවත් වන බවද පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇත. වන වදුළු අතර වලි කකුළන් බොහෝවිට දැකගත හැකි අතර වැසි සමයෙන් පසු තැන්න පුරා විසිරී ඇති බෝවිටියා ආදී පඳුරුවල මල් පිපී අලංකාරය ගෙන එයි.

    වසරේ වියළි කාලවල මෙහිදීි දැකගත හැකි සුවිශේෂී දසුනක් වන්නේ වස්ගමුව වැනි ප‍්‍රදේශවල සිට ආහාර සොයා වල් අලින්ගේ පැමිණීමයි. නමුත් පිටවල පතන හා ආශි‍්‍රත ප‍්‍රදේශය ඔවුන්ගේ නිත්‍ය වාසස්ථාන නොවේ. වැසි සමය ඇරඹීමත් සමග ඔවුහු නැවත තම නිජ බිම් සොයා යති. තවද ගෝනුන්, හාවුන්, වල් ඌරන්, ඉත්තෑවන්, වැලි මුවන්, මී මින්නන්, හෝතඹුවන් වැනි සතුන් පමණක් නොව කලාතුරකින් දිවියන්ද මේ ප‍්‍රදේශයේ ගැවසෙන බව දැනගන්නට ලැබේ. එසේම සමනළ, උරග හා උභය ජීවී විශේෂ රැුසකටද මෙම බිම කදිම නිවහනකි. දුම්බර කඳු පෙතටම ආවේණික වූ රළු ගල් පර මැඩියාද මෙහි ඇති දිය පොකුණුවලදී බොහෝවිට හමුවේ.

    වර්ෂයේ විවිධ සමයන්හිදී විවිධ ස්වරූපයෙන් දැකගත හැකි අලංකාර භූමි ප‍්‍රදේශයක් වන පිටවල තැන්න දුම්බර කඳුකරයට ගෙන එන්නේ චමත්කාරයකි. බොහෝ විට සැන්දෑ සමයේදී මීදුම් දහරාවන්ගෙන් වැසී යන පතන හා අවට වන ගොමු අතර ඇත්තේ නිහැඬියාවකි. දැඩි නිසල බවකි. එසේම දුම්බර වන පෙතේ ජීවත් වන වන සතුන් මෙන්ම ගහ කොළ රැුසකට ජීවය ලබාදෙන, ඔවුන් ආරක්ෂා කරන භූමි ප‍්‍රදේශයක් ලෙසද පිටවල පතන ආශි‍්‍රත පරිසර කලාපය හඳුන්වා දිය හැකිය.



 

 

 

 

මහේෂ් ඉන්දික විජේතිලක

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates