Latest News

ආදරෙයිද? එහෙනම් කවදාවත් තරහා වෙන්න එපා.



 ජීවිතයේදී අපිට විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා. සමහර අයට අපි ආදරය කරනවා. සමහර වෙලාවට අපි ආදරය කරන අයත් අපිට ආදරය කරනවා. අපි සමහර වෙලාවට වරදක් කරනවා. ආදරේ නොකරන අය එක්ක අපි තරහ වෙන්නේ නැහැ. හැබැයි අපි ආදරේ කරන අය එක්ක තරහා වෙනවා. හේතු ඇතිව තරහා වෙනවා. හේතු නැතිව තරහා වෙනවා. සමහර හේතු සාධාරණයි. සමහර ඒවා අසාධාරණයි. ඔය එකී නොකී මෙකී මොකක්ම හරි හේතුවක් හොයාගෙන හරි එහෙම එකක් මතු වෙලා හරි අපි තරහා වෙනවා.ඊට පස්සේ සමහර වෙලාවට එයාලත් එක්ක අපිම ගිහින් යාළු වෙනවා. එහෙම නොකර එයාලම මොන වෙලාවේ හරි අපේ ලඟට ඇවිත් අපිත් එක්ක යාලු වෙනකනුත් බලාගෙන ඉන්නවා.

පළවෙනි ක්‍රමයේදී සමහර වෙලාවට අපිට පරාජිත හැගීමක් වගේ දෙයකුත් දැනෙනවා. නිකන් සෙකන්ඩ්  වුණා වගේ. මමත්වයට පොඩි හානියක්. හැබැයි ඇත්තටම එහෙම වුණාද? නැහැ . පළවෙනි ක්‍රමයේදී මුලින්ම සමාව දීපු කෙනා ඔයා. අපි කෙනෙකුට සමාව දුන්නම ඒ තුළින් අපිටම කරගන්න යහපතක් තියෙනවා. ඒ තමයි අපේ හිතේ තිබුණ තරහා නැති වෙනවා. ඒ වෙලාවට හිත සැහැල්ලුයි. තරහින් ඉන්නකොට හිතට මොන තරම් බරයි ද? ඒක නිසා පළවෙනි ක්‍රමය අනුගමනය කරන්න කොහෙත්ම මැලි වෙන්නත් එපා. පොඩ්ඩක්වත් පරක්කු වෙන්නත් එපා. එහෙම කියන්න තවත් හේතුවක් තියෙනවා. හැබැයි තවත් ක්‍රමයක් තියෙනවා. මේක තමයි වදාම හොඳ ක්‍රමය.

කවදාවත්ම තමන් ආදරය කරන අය එක්ක තරහා වෙන්න එපා.
තමන් කාට හරි ආදරය කරනවානම් ඒ කවුරු හෝ වේවා ඒ පුද්ගලයා හෝ පුද්ගලයන් එක්ක කවදාවත් තරහා වෙන්න එපා. ජීවිතේ කියන්නේ කල්පයක් ගෙවන දෙයක් නොවයි. ජීවත් වෙන්න අරමුණු අවශ්‍යයි  තමයි. නමුත් ඊට වඩා බැඳීම් මිනිස්සුන්ව ජීවත් කරන වෙලාවල් එනවා. ජීවත් කරවනවා.( බැඳීම් දුකට හේතුවක් වුණත් ) ඉතින් ඊළඟ මොහෙතේ අපි ජීවත් වෙනවා කියන බලාපොරොත්තුව අපිට තිබුණත් ඒ මොහොත ඇත්තටම උදා නොවුනොත්. එහෙම වෙන්නේ නැහැ කියලා කවදාවත් හිතන්න එපා. මොකද එහෙම වෙන්නේ නැහැ කියලා හිතුවම නොවුනොත් මොකද වෙන්නේ කියන එක ඔයාට අමතක වෙන්න පුළුවන්.  ඒ අමතක වීම ඔයාට සදාකාලික පසුතැවීමක්ම ඉතිරි කෙරුවොත්.?
හිතන්න.
මේක ඇත්ත කතාවක්. දෙන්නෙක් බොහොම ආදරයෙන් ජීවත් වුණා . ඒ දෙන්නා අතර බොහොම හොඳ අවබෝධයක් තිබුණා. එයාලා ජීවිතේ බොහොම ආදරයෙන් බෙදා ගත්තා. එකට ජීවත් වුණා . හීන බැලුවා. හීන හැබෑ  කරගත්තා. එකට ඇවිද්දා.  ඉව්වා. කෑවා . බිව්වා. ඉඳලා හිටලා තරහත් වුණා. තරහා වෙවී යාලුත් වුණා.  ඔය විදිහට මේ දෙන්නා තවත් දවසක් තරහා වුණා. තරහා වුනේ නම් බොහොම සුළු දෙයකට. තරහ නොවිය යුතුයි කියලා හිතුන දෙයකට. විහිළුවට වගේ. දෙන්නම බලාගෙන හිටියා අනිත් කෙනා කතා කරනකන්. ඒ තරම් ආදරේකින් හිටපු ඒ දෙන්නා තමන්ගේ වරදක් නැතිව අනිත් කෙනාට පරාද වෙන්නේ මොකටද කියලා හිතුවා. විහිලුවට තරහා වුනත් එයාලට අමතක වුණා එයාලා තරහා වුනේ විහිලුවට කියන එක. ඊට පස්සේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් තමන්ගේ ආත්මාභිමානයට හානි වෙයි කියලා හිතලා එකිනෙකාට කතා කළේ නැහැ. අනිකා තමන්ට අද කතා කරයි හෙට කතා කරයි කියලා හිතුවා. මේ විදිහට දිගටම එයාලා තරහා වෙලා හිටියානම් ආදරය කියන දෙය දුරස්ම වෙලා යන්න තිබුණා . එහෙම වෙනවා වෙනුවට වුනේ නොහිතපු දෙයක්. තරහා වෙලා හිටපු දවසකදී  මේ දෙන්නගෙන් එක්කෙනෙක් නොහිතපු විදිහට හදිසි අනතුරක් වෙලා ජීවිතයෙන් සමුගත්තා. හිතන්න  ජීවත් වෙලා ඉන්න කෙනාට කවදාවත් තමන් ආදරේ කරපු කෙනා එක්ක ආයෙත් යාළු වෙන්න බැරි වුණා. මේ ලෝකෙන් සමු ගත්ත කෙනාටත් එයා ආදරේ කරපු කෙනා එක්ක මැරෙන්න කලින් යාලු වෙන්න බැරි වුණා. අන්තිම මොහොත වෙනකන් ආදරයෙන් ජීවත් වෙනවා වෙනුවට එයාලා ජීවත් වුණු වටිනාම දවස් ටිකක් තරහින් වේදනාවෙන් අහංකාර කමින් ගත කළා.
මේ කතාව බොළඳයි වගෙත් හිතෙනවා ඇති. ඒත් හිතන්න මේ වගේ දෙයක් ඔයාටත් වුණොත් ඔයා මොන තරම් පසුතැවිලි වේවිද? ජීවිතේ අපිට ලැබිලා තියෙන හැම මොහොතක්ම වටිනවා. ඉතින් සතුටින් ඉන්න පුළුවන් ඒ මොහොත තරහෙන් කණස්සල්ලෙන් මානයෙන් පුරවන්නේ ඇයි ? ආදරෙන් ඉන්න පුළුවන් හැම මොහොතෙම ආදරෙන් ඉන්න. ඇත්තටම ආදරේ අය කවදාවත් දාලා යන්නේ නැහැ. එයාලා හැමදාම ඉන්නවා. ආදරය ඉවසිලිවන්තයි. සමාව දෙනවා. ආදරය ආදරණීයයි. ඉතින් කවදාවත් ආදරේ කරන අය එක්ක තරහා වෙලා ඉන්න එපා. මොකද එයාලා එක්ක යාළු වෙන්න අපිට ආයෙත් අවස්ථාවක් නැති වෙන්න 1%ක හරි සම්භාවිතාවක් තියෙන නිසා..
තරහා වෙන්නම ඕනේ කියලා හිතුනොත් මොකද කරන්නේ?
මුකුත්ම කරන්න එපා. කාත් එක්ක හරි තරහා වෙන්න හිතුනම මතක් කරන්න එයා ඔයාගේ ජීවිතේට ආව දවසේ ඉඳලා මේ ඔයාට ඒ පුද්ගලයා එක්ක තරහා වෙන්න ඕනේ කියලා හිතුන දවස වෙනකන් ඔයාලා සතුටින් ගත කරපු මොහොතවල් ගැන. එයා ඔයාට කරපු උදව් උපකාර ගැන. ඔයා වෙනුවෙන් කැප කරපු කාලය ගැන. එතකොට බර වැඩිම මොන පැත්තද? සතුටින් හිටපු කාලයද? අසතුටින් හිටපු කාලයද? ගොඩක් වෙලාවට ඔයාට හිතේවි සතුටින් හිටපු කාලය වැඩියි කියලා. ඉතින් හිතලා බලන්න දෙපාරක් තරහ වෙන්න කලින්. අනික හිතන්න ඔයා ගොඩක් ආදරය කරන කෙනෙක්ට ඔයා එක්ක තරහා වෙන්න හිතුනොත්? ඔයාට මොන තරම් දුකක් දැනේවිද? ඉතින් ඔයා තරහා වුනොත් ඔයාට ආදරය කරන කෙනෙක්ටත් ඔයාට දැනෙනවා වගේම වේදනාවක් දැනෙයි. ඉතින් ඔයා ඔය කරන්න හදන වැඩෙන් කාටවත් යහපතක් වෙයිද? තමන්ගෙන් ප්‍රශ්න කරන්න කවදාවත් මැලි වෙන්න එපා. තමන්ගේ ප්‍රශ්නයට තමන්ටම උත්තරයක් හොයාගන්න එක පහසුයි නැති ප්‍රශ්නයක් ඇති කරගන්නවාට වඩා...
ඉතින් විසඳුම සරලයි. තරහා නොවීම ඉන්න. විශේෂයෙන් ආදරේනම් ....


කාංචනා ප්‍රියකාන්ත

3 comments:

  1. ඔයාට ගොඩාක් පිං ..ඔයාගෙ වචන ටිකේ ලොකු බලයක් තියෙනවා ..

    ReplyDelete
  2. ඔයාට ගොඩාක් පිං ..ඔයාගෙ වචන ටිකේ ලොකු බලයක් තියෙනවා ..

    ReplyDelete

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates