Latest News

හදවත එතැනම



ශාන්තිනී සඳළුතලයේ, කුඩා වට මේසය අසල  වූ ඇඳි පුටුවට බර දුන්නේ ගත වෙලාගත් තෙහෙට්ටුවත් සමඟින් මද අස්වැසිල්ලක් ලබන රිසියෙනි. ගණ අඳුර මැදින් දිලෙන සඳවතිය නෙත ගැටුන විට පුන් පොහෝ දිනට ඇත්තේ තව දින කිහිපයක් පමණක් බව ඇගේ මතකයට නැගිණි. විහාරස්ථානයේ පිළිම ගෙයි තැබීම පිණිස  තැනවීමට දුන් මල් ආසනය තනා නිමවී ඇති  දැයි සෝමවීර සොයා  බලන්නට ඇත. තමාගේ කළමනාකරු ලෙසට සෝමවීර ඉටු කරන්නේ මහත් සේවයකි. මල් අසුන පුජා කරන අවස්ථාවද ඔහු විසින්ම සංවිධානය කෙරෙතත් තමාද සුළු වේලාවකට හෝ එයට සහභාගී විය යුතුය. මාලතී අවස්ථාවට ගැලපෙන සුදු පැහැති ඇඳුමක් මේ වනවිටත් සකස් කර ඇතුවාට සැකයක් නැත. ඇය කවදත් තමාගේ රුචි අරුචි කම් වලට අනුවම තම ඇඳුම් පැළදුම් සකසා දුන් බව ශාන්තිනී දන්නීය.



වසර ගණනාවකට පෙර තැන තැන එළලූ   සැමදා පාසැලට අඳින සුදු ගවුම හැඳ දහම් පාසැල් ගිය අයුරු ශාන්තිනී ගේ මතකයට නැගිණ. පන්සලේ ආවතේවකම් කළ බණ්ඩාර  අය්යා  මාස කීපයකට සැරයක් අභ්‍යාස පොත් කිහිපයක් ගෙනවිත් ශාන්තිනී අත තැබුවේ. " මෙන්න,  හාමුදුරුවෝ දෙන්න කිව්වා .." යයි කියමින්ය.   තරමක් වයස්ගත වුවද බණ්ඩාර අය්යා තවමත් විහාරස්ථානයේ රැඳී සිටිමින් අවතේව කටයුතු සිදු කරයි. ලොකු හාමුදුරුවන් අපවත් වූදා  බණ්ඩාර අය්යා හඬා වැටුණේ  කුඩා දරුවෙකු මෙනි. උන්වහන්සේගේ දේහය නෙත ගැටෙද්දී තමාගේ නෙතු වලටද කඳුළු  නැගුණු  අයුරු ශාන්තිනිට හොඳ හැටි මතකය. වත්මන් නායක හිමියන් වන එදා පොඩි හාමුදුරුවෝද තම ගුරු  හිමියන් සේම කරුණා වන්ත හිමි නමකි. 
  
කඩයප්පන් සෑදීමටත්, ඒවා විකුණා ගැනීමටත් මව  ගන්නා වෙහෙසත්, ඇය දිනෙන් දිනම වැහැරී යන ආකාරයත් බලා සිටිය නොහැකි  සෙයකි. සවස් කාලයේ එළිපත්ත මත හිඳ ගෙන මව තමාගේ  හිස පිරිමදිද්දී, තමා මහත් හඬින් පාඩම් පොත් සැටි ශාන්තිනිට සිහිවිය. විටෙක මවගේ නෙතු අගින් සිහින් කඳුළක් නැගෙද්දී " අම්මා බයවෙන්න එපා අම්මේ. මම කොහොම හරි හොඳට ඉගෙන ගන්නවා. අපිට ඉන්න ගේකුයි, අඳින්න ලස්සන ඇඳුම් ටිකකුයි, රසට කන්න කෑමයි තිබුණම ඇතිනේ."   ශාන්තිනී මවට එසේ පැවසුවේ මවගේ සිත සැනසීමට පමණක්ම නොවේ. ඇයගේ හද තුළ රැඳුණු  ඒකායන පැතුමද එයම විය. 

ශාන්තිනීගේ සිතුවිලි මාලාව මදකට බිඳී ගියේ සඳලු  තලයේ කෙටි තාප්පය මත  රැඳී තිබූ ඇයගේ සුරත මතට පතිතවූ වැහි බිඳු කීපයක් නිසාවෙනි. "  එහෙන් මෙහෙන් වැහි බින්දු වැටෙන හිරි පොදක්. පෝයට ඉස්සෙල්ලම වහින්න වගේ..." ශාන්තිනීට සිතිණි. ලාම්පු එළියෙන් පාඩම් වැඩ කරමින් සිටියදී ඇද හැලුන වර්ෂාව නිසා, කැඩී ඇති පොල් අතු වහලේ සිදුරු අතුරින් බේරී විත් තම හස්තය මත රැඳුණු  වැහි බිංදු ඇගේ සිහියට නැගිණි. සිදුරු අතරින් වැටෙන වැහි බිංදු ගණන  වෙත්ම මවගේ නෙතු අගින් කඩා  හැළුණු කඳුළු බිඳු ගණනද වැඩිවූ අයුරු. තමාව තුරුලට ගෙන හිස පිරි මදිමින් " මයේ කෙල්ලට පාඩම් වැඩ කරගන්නත් විදියක් නැහැ නේද වැස්ස දාට?" කියූ විට, "නැහැ අම්මේ මට පාඩම හොඳට මතකයි. නිකමට වගේ ආපහු බැලුවේ. හිල් නැති වහලක් තියෙන ගෙයක් අපි කවද හරි හදාගමු අම්මේ." යන්න ශාන්තිනීගේ පිළිතුර  විය.

"දැන්, ඇඟපත සොදගත්තා  නම් හොඳයි. දන්නෙම නැතුව රෑත් වෙලා. " ශාන්තිනී සඳලු  තලයෙන් නැගී නාන කාමරය වෙත ඇදුනාය. බිත්තිය පුරාවට පැතිරුණු විශාල කණ්ණාඩියෙන් ඇයගේ රුව මැනවින් පෙනෙන්නට විය. කම්මුල් මත තවමත් තැවරී ඇති ආලේප ඉවත් කිරීම සඳහා මුහුණ පිසින කඩදාසියක් අතට ගත්තාය. අම්මා කඩයප්පන් හදද්දී ඇයට සහය වන විටෙක ඇයටත් හොරාකම්මුල මත පිටි තවරාගෙන ඉරි තැලී ගිය කණ්ණාඩියේ කැබලි අතරින් බලා තනිව හිනැහුණු අයුරු.     මවගේ සිත තව තවත් රිදවීමට නොහැකි නිසාවෙන්ම ඇයට නොකියා සිටියත් කෙදිනක හෝ තමා ඇති තරම් පුයර, වත්සුණු යනාදියද ලබාගන්නේ යයි අදිටන් කර ගත් සැටි.  අඳුන් තැවරූ ඇහි බැම තම සොඳුරු වතට එක් කර ඇත්තේ රළු බවක් නොවේ දැයි ශාන්තිනීට සිතිණි.  ඇයගේ වතෙහි ස්වභාවයෙන් පිහිටා තිබූ අවිහිංසක පෙනුමට ඇය ඇලුම් කළාය.

තම කුටියට වැදුණු ශාන්තිනී මදකට සයනයේ වැතිරෙන්නට සිතුවාය. " ටක්. ටක්. ටක්." කුටියේ දොරට යමෙකු තට්ටු කරයි. විවෘත කළ දොර පියන් අතුරින් මතුවුණ  සෝමා " මැඩම් අද තාම රෑට කෑවේ නැහැ නේද?" යයි ඇසුවාය. තමා රාත්රී ආහාරය නොගත් බව ශාන්තිනී ට පසක් වූයේ එවිටය. එහෙත් සැන්ඳෑවේ සහභාගී වූ උත්සවය අඳුරු  වැටෙන කල්ම පැවැත්වුණු නිසාත්, එහිදී ඇති තරම් අහාර පාන භුක්ති විඳි නිසාත් කුසගින්න අසලකවත් නොමැති විය. දිනයේ සුපුරුදු  න්‍යාය  පත්රයට අනුව හෝ රාත්රී ආහාරය ගතයුතු යයි සිතුනද තවත් ඉතා කුඩා යමක් හෝ කුසට එබීමට තරම්  ඉඩක් නැතැයි වැනි හැඟීමක් ශාන්තිනිට දැනුණි. " බඩගින්නක් නැහැ සෝමා. කට්ටියම කාලා කෑම ටික අස් කරලා දාන්න." නැවත කුටියේ දොර පියන් වැසූ ශාන්තිනී ඇඳේ දිග ඇදී යළිත් කල්පනාවේ නිග්මනය විය.  
කඩයප්පන් තම්බන තම මව ඉන් කොටසක් තමාට තබා ඉතිරිවාත් රැගෙන කඩයප්පන් වෙළදාමේ ගිය සැටි ශාන්තිනිට මතකයට නැගිණි. එහෙත් කඩයප්පන් විකුණා ගත නොහැකි වූ දිනෙකට පසු දිනෙක හෝ  හෝ මව අසනිපවී කඩයප්පන් නොසෑදූ  දිනෙක කුස ගින්නෙම පාසලට යාමට ශාන්තිනිට සිදුවිය. එහෙත් ශාන්තිනී තම මවට පැවසුවේ " මට බඩගිනි  නැහැ අම්මේ." කියාය. යන ගමන් කඩෙන් මොනවා හරි ගන්න කියා ශත කිහිපයක් ශාන්තිනීගේ අත මිට මෙලවීමට තරම් හැකියාවක් මවට නැති බව ශාන්තිනී හොඳාකාරවම දැන සිටියාය.  එවැනි දිනෙක පාසැලේ විවේක කාලයේදී  බනිස් ලැබෙන  තුරු කුස ගින්නේ සිටීමට ඇයට සිදුවිය.  "මම ලොකු උණාම අම්මට රසට කෑම හදල දෙනව. දැන් මහන්සි වෙලා ඉගෙනගන්න ඕනේ."  කුසගින්න දැණුන හැමවිටම ශාන්තිනීගේ සිතට පහළ වූයේ මෙම අදහසයි.

දවස පුරාම කෙතරම් කාර්ය බහුලව ගෙවී ගියත් හදිසියේ මෙන් ඈත දුරක පාවී ගිය සිත නිසාවෙන්දෝ නින්ද නම් අහලකටවත් නොඑන බවක් ශාන්තිනිට හැඟුණි. ඉබේම සයනයෙන් නැගී සිටි ඇයගේ නෙත ගැටුණේ  අසල පොත් රාක්කයේ වූ අලුත්ම කවි පොත් කිහිපයකි. දින කිහිපයකට පෙර පැවති පොත් ප්රදර්ශනයක සමාරම්භක උත්සවයට ලද ඇරයුම අනුව  සහභාගී වූ අවස්ථාවේ  ශාන්තිනිට ලැබුණු පොත්ය ඒ. ඉදිරියේම තිබූ කවි පොත ශාන්තිනීගේ අතට පත්විය.  නව යව්වන වියේදී අනිකුත් මිතුරියන් ආලය, ප්රේමය පිළිබඳව සොඳුරු පදවැල් අමුණද්දී  තමන්ද ඔවුන්ට එක්වූ නමුත් තමන් අතින් එවැනි පැදි රචනා නොවුන බවද සිහියට නැගිණි. ශාන්තිනිට තමා විසින් එසේ පබැඳූ  පද වැලක් තවමත් හොඳින් මතකය. 


හිස්වූ පැතුමන්......

නිල්වන් නුඹ වත වත්සුණු තැවරී
රෝස මලක් සේ ඔපවේවී
අවිහිංසක මුව පොව්වකු වැනි නෙතු
අංජන තැවරී රළු වේවී
සිනිඳු කසී සළු අතරින් දිදුලන
ගත දන පිනවන රූ  දේවී
පොල් අතු මැදුරේ කවුළුව වෙනුවට
සී මැදුරේ කවුළුව ඒවී
නෙක දිරි ගෙන හෙට ඒ ලොව තනන්න
විරියෙන් නුඹ හට හැකිවේවී
හද පිරවූ සැම පැතුමන් ඉටුවී
හද තුළ පැතුමන් හිස්  වේවී.

තමා කුඩා කලදීම පියා මිය යාමෙන් අනතුරුව අතු පැලක මවත් සමඟ තනිවූ ශාන්තිනී තමා නොලද සම්පත් කෙදිනක හෝ ලබාගැනීමට සිහින මැව්වාය. හද රැඳුණු දිරිය නිසාම කෙදිනක හෝ තම පැතුමන් සඵල  වනු ඇතැයි යන බලාපොරොත්තුව ඇය තුළ  විය. එසේම කිසියම් දිනෙක එම පැතුම් ඉටුවී හද තුළ  පැතුම් හිස්ව ගිය දිනෙක නිස්කාන්සුවේ සැහැල්ලු සිතින් දිවිගෙවීමට ඉඩ ලැබෙනු ඇතැයිද ඇය  විශ්වාස කළාය.

සරසවියේදී හමුවූ ප්රේමනාත් සමඟ පසු කලෙකදී විවාහ වූ අයුරුත්  ක්රමයෙන් අද මේ තැනට එන තෙක් දෙදෙනාම එක්ව සියලු  කටයුතු සම්පාදනය කර ගත් අයුරුත්  සිත්තම් පෙළක් මෙන් ශාන්තිනීගේ ඉදිරියේ මැවෙන්නට විය. අතීතය පිළිබඳව කණගාටුවක් නැතත් සුඛෝපභෝගිවූ වර්තමානය පිළිබඳව සතුටක්ද ඇති බවක් කිව නොහැකිය. සුන්දර අතීතය තරමක් කටුක වුවත් දුක්ඛිත වූවක් ලෙස ශාන්තිනිට නොහැඟේ.    සවස්වරුවේ මවගේ ඇකයෙහි හිස හොවාගෙන  ඇය තමාගේ හිස පිරිමදිද්දී තමා හඬ නගමින් පොතක් කියැවිය. එහෙත් ශාන්තිනීගේ දරුවන්ට එම සුවය හිමි වුයේ නැත. දරුවන්  දෙදෙනා බලා  කියා ගත්තේ දරුවන්ගේ ආයා විසිනි. ලොකු දුවට නම් දෑවුරුදු  විය එළඹෙන තෙක් හෝ අත්තම්මාගේ උණුසුම ලැබිණි. එහෙත් පුතා ඉපදී මාස ගණනක් ගතවෙද්දීම ශාන්තිනීගේ මෑණියන්  මෙලොවින් සමුගත්තාය.  

ප්රේමනාත් මේ වනවිට සහභාගී වී සිටින සාදය නිමාවට පත්වීමට තවත් හොරා  කිහිපයක්ම ගතවනු ඇත. හෙට හිමිදිරියේම තමා නිවසින් බැහැර වනවිටත් ඔහු ගැඹුරු  නින්දේ සිටිනු ඇත.

හද පිරවූ සැම පැතුමන් ඉටුවී
හද තුළ පැතුමන් හිස්  වේවී.

මොහොතකට පෙර ශාන්තිනීගේ මතකයට පැමිණි පදවැල නැවතත් ඇගේ දෙතොලඟ මුමුණන්නට විය. 

එදා තමාගේ සිත තුළවූ ප්රාර්ථනාවන් සියල්ලම පාහේ මේ වනවිට  ඉටුවී තිබෙනවා නොවේ දැයි ශාන්තිනීට පසක් විය. එහෙත් අද නැවතත් යළිත්  සිතන විට ඒවා ප්රාථමික ගණයේ ප්රාර්ථනාවන් නොවේදැයි ඇයට සිතේ. ඉටුවෙන හැම ප්රාර්ථනාවක් ඔස්සේම තවත් පැතුම් ගොන්නක් මතුවට ගලා එනු  ඇත. හද තුළ  පැතුමන් හිස් නොවෙනු ඇත. එදා වගේම හැමදාමත් හද තුළ ප්රාර්ථනාවන් ගොන්නක් පිරෙනු ඇත. ශාන්තිනීගේ හදවත එදා වාගෙම තවමත් පැතුම් ගොනු කරයි. ඉන් පසුව ඒවා ඉටු කරගැනීම  පිණිස හඹා යයි. සියල්ලම පාහේ වෙනස්වී ඇති නමුදු තම හදවත නම් තවමත් එතැනම නොවේදැයි ශාන්තිනීට සිතිණි.

~~  නිමි  ~~


නයනේත්රී කපුරුසිංහ (ජර්මනිය)

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates