Latest News

ඉ සංකලණී මංගල දැක්ම



ආයුබෝවන්,

ඔබ සැමට ද, අපට ද, ඔබ අප යා කෙරෙනා මෙම ව්‍යායාමයටද, දීර්ඝායු පතා මේ සටහන අරඹනු කැමැත්තෙමු.
 
සංකලණි, පසු ගිය වසරේ මැද භාගයේ සිට සයිබරයේ ලියන කියවන අය විසින් තැනින් තැන කථා කෙරුණු, සංවාදයට ලක් කෙරුණු, උත්සාහයන් ගනු ලැබූ, ලියන අයවළුන් හා කියවන අයවළුන් අතර බාධා රහිත සීමා මයිම් අවම සන්නිවේදන අවකාශයක් වෙනුවෙන් කෙරෙන උත්සාහයක් වන්නේය.

 
 තව දුරටත් කඩදාසි හා තීන්ත වියදම විසින් තැණුන බාධකයන් ඉක්මවා යනු වස්, අංකිත සන්නිවේදනය යොදා ගන්නේ කෙසේදැයි, ඒ සඳහා සමාජමය එකතුවක් බිහිකරන්නේ කෙසේදැයි සොයාගැනීම උදෙසා කෙරෙන පර්යේෂණයක් වන්නේ ය.
 
ඉ සංකලණි. මුද්‍රණය නොවන, රාක්ක වල නොදකින, ඔබේ අදහස්ද අපේ අදහස්ද ගොණුකොටගත් අංකිත වියමනක් වන්නේය.
 
ප්‍රමාදය. ඒ පිලිබඳව කිව යුතුම ය. මේ එලි දකින්නේ මීට මාස තුනකට පෙර සමාජගත කිරීමට සැලසුම් කල සඟරාවකි. වඩා හොඳ නිමාවක්, අන්තර්ගතයක්, ගොනු මාදිලියක්, බෙදා හැරීමේ ක්‍රමවේදයක්, කල් පවත්නා යාන්ත්‍රණයක් වැනි බොහෝ දෑ සැලකිල්ලට ගත යුතු වූ හෙයින් ද, මේ සඳහා එකතු වූ අයවළුන්ගේ මෙන්ම සමාජයේ ප්‍රමුඛතාවය ද වෙනත් නොවැලැක්විය හැකි කරුණු වෙත යොමුවූ හෙයින්ද මේ ප්‍රමාදය සිදුවිය.
 
අන්තර්ගතය. මිනිසුන් කිසිවෙකුත් පරිපූර්ණ නොවන හේතුවෙන්ම ඔවුන්ගේ අදහස් ද , භාෂාව ද, ලියන දෑ ද කිසිදා පරිපූර්ණ වන්නේ නැති බව අප විශ්වාස කරන්නෙමු. එහෙයින්ම කියන්නට යමක් ඇත්තෙකුට ඒ දෙය කීමෙහි පූර්ණ නිදහස තිබිය යුතු බව පිළිගන්නෙමු. ඉඳින් මෙම සඟරාවෙහි අන්තර්ගතයන් ඉරිගසා ලේබල් අලවා වෙන්කොට නැත්තේ ය. අන්තර්ගතය පිලිගැනීම, විවේචනය කිරීම, ඇගයීම කියවන ඔබටම බාර වූවක් වන්නේ ය.
 
අනාගතය. මේ ඔබ විටක නිර්මාණ කරන්නා වන, විටෙක නිර්මාණ විඳින්නා වන අවකාශයක් වන්නේ ය. එහෙයින් මේ සඟරාව පවත්වාගෙන යෑම පවතින්නේද ඔබ මත ය.

 ඔබ ලියුව හොත්, ඔබ කියෙව්ව හොත්, ඔබ සඟරාව සැකසීමට දායක වුවහොත්, ඔබ සඟරාව බෙදාගතහොත්, ඔබ සඟරාව ගැන අදහස් දැක්වුවහොත් මේ ව්‍යායාමය වඩා පලබර වනු ඇත. ඔබ අප අතර මායිම් නැතිව යනු ඇත. අපත් ඔබත් එකම පිරිසක් වනු ඇත. ඒ අප අනාගතය සඳහා දකින සිහිනයයි.
 
ස්තූතිය. නම් ලැයිස්තුවකට ස්තූති කිරීමට අප අකමැත්තෙමු. ඒ නමක් ලියවීමට වඩා නමක් මඟහැරීමෙන් සිදුවන හානිය වැඩි නිසා ය. නමුත් ආධුනික, ප්‍රවීන, දන්නා, නොදන්නා බොහෝ දෙනෙකු ස්තූතිය ලැබිය යුතු පිරිස අතර වන බවත් මේ මංගල කලාපය ඔවුන් සියල්ලන්ගෙ නමට පුදකර සිටින බවත් දන්වා සිටින්නෙමු.
 
ඔබේ දායකත්වය හා සඟරාව පිලිබඳ අදහස් ලබා දීමට,

Email : esankalani@gmail.com
Web   : esankalani.blogspot.com
Facebook :  https://www.facebook.com/esankalani

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates