Latest News

උපුල්ගේ විද්‍යා පන්තිය

 

මේ ඉන්නෙ උපුල්. දඟකාර හැඩකාර කොල්ලෙක්. තාම ඉන්නේ නමය පන්තියේ.

දන්නවනේ නමය පන්තිය ගැන.හැමදේ ගැනම ඉහවහා ගිය කුතුහලය පිරිලා. දවසක් බීඩියක් ඔතන් බොන්න ගියපු කොලු නඩේක ඉදල ස්කෝලෙන් හොඳ දඩුවමකුත් වින්දා. උපුල් හොඳ ළමයෙක් උනත් උපුල්ගේ පන්තියෙ හිටියෙ මහ ඇට්ටරයෝ ටිකක්. ඉතින් උපුලුත් ඇට්ටර වුනා. ඒක උපුල්ගේ වරදක් නෙමෙයි .


කිසිම ගුරුවරයෙක් හෝ ගුරුතුමියක් බාර ගන්න අකැමැති වෙච්චි උපුල්ගේ පන්තිය විදුහල්පතිටත් හරිම හිසරදයක් වුනා. මේ හිසරදෙන් විදුහල්පතිතුමාව බේර ගත්තේ ඒ ඉස්කෝලෙට අලුතින් ආපු ගුරුවරියක්.


කොටින්ම කවුරුත් භාර නොගත් පන්තිය අලුත් ගුරුතුමීගේ ඇගේ ගහල අනිත් අය බේරුනා.


ඒ ගුරුතුමී හරිම හොඳයි.ඇය තරමක උණ කාරියක්. ඒ කියන්නේ බැහැල වැඩ. බොක්කෙන්ම උගන්වනවා. ළමයින්ට දඬුවම් කරන්නෙත් නෑ. ගහන්නෙ සැරවැර නැහැ.

මාස දෙක තුනක් ඔය පන්තිය භාරව ඉන්න කොට මිස්ගෙ උණ හොඳ වෙයි කියල ස්ටාෆ් රෑම් එකෙත් කතා වුනා. ආපු අලුත හැමෝම ඔහොම තමයි කියලත් කට්ටිය කතා වුනා.

http://4.bp.blogspot.com/-QH5-yqLu_uY/U6mKA8SW2mI/AAAAAAAADBU/GctPYjl2KCE/s1600/images+(1).jpg


මේ ගුරුතුමී ඉගැන්නුවේ විද්‍යාව. ඒකත් මහ වෙනස් ක්‍රමේකට. කොටින්ම ඒ ගුරුතුමී උගන්වද්දි පන්තියම මහ ඝෝෂාකාරීයි. මේ නිසා ගුරුතුමී විද්‍යාව උගන්වන ක්‍රම වෙනස් කරා. දැන් හැමදාම විද්‍යා පාඩමට කවියක්,චිත්‍රයක් සින්දුවක් එකතු වෙන එක වරදින්නෑ.

සමහර දවසට නාට්‍යත් පෙන්නුවා.

එතකොට අර උපුල් , උපුල්ට විද්‍යාව පෙන්වන්න බෑ. කොටින්ම උපුල්ට විද්‍යාව ලියන්න පොතක් වත් නෑ. හැමදාම එක එක පොත් වල තමා විද්‍යාව ලීවේ. ඒත් මේ අමුතු වැඩේට උපුලුත් කැමැති. විශේෂයෙන් මේ නාට්‍ය දිහා උපුල් බලා ඉන්නෙ හරිම ආසාවෙන්.

ඔන්න දවසක් පාඩම සෞරග්‍රහ මණ්ඩලය එදා ඔක්කම ග්‍රහ ලෝක පන්තියට ඇවිත් හිටියා. ඒ මදිවට ඉරත් පන්තියට ඇවිත්. දැන් ටීචර් පාඩම උගන්වනවා.


වලලු දාපු සෙනසුරුත් , රතු පාට අඟහරුත් මෙකී නොකී නානාප්‍රකාර ග්‍රහයෝ පන්තියෙ ඇවිත් වාඩි වෙලා හිටියා. 


කොහොමත් මේ පන්තිය මහ අමාරු ග්‍රහයෝ ඉන්න එකක් බව ගුරුවරු කතා වුනා උපුල්ට මතක් වුනා. 


ගුරුතුමී කාටත් ග්‍රහයෝ ටික හදුන්වල දුන්නා.

මේ බලන්න ළමයි , මොකක් ද මෙයාගේ අනිත් අයට වඩා තියෙන වෙනස?

එයා වටේ රවුම් රවුම් තියෙනවා උපුල් පැනපු ගමන් හයියෙන් කිවුවා.

හරියට හරි උපුල්. අන්න ඒ ගෑණු කෙනෙක් වගේ වලලු දාන් ඉන්න ග්‍රහයට අපි කියනවා සෙනසුරු කියල මුළු පන්තියේම පිරිමි ළමයි ,ගෑණු ළමයි ඉන්න පැත්ත දිහා බල බල උසුළු විසුළු කරමින් හිනා වුනා.


මෙන්න ටිහකින් රැස් විහිදෙන ඉරක් ඔළුවෙ ගහගත්තු ඉර දෙවියො පන්තියට ආවා.


මේ කවුද ළමයි?

ඉ ර ර ර ර ර ර ර ර ර ර ර

ළමයි හරි ලේසියෙන් ඒකට නම් උත්තර දුන්නා. දැන් ටීචර් ආයෙ පාඩමේ.

දැන් මට කියන්න පුතාලා , අද කවුද ඉර දෙවියන්ගේ රැස්වීමට ඇවිත් නැත්තේ

කිසි කෙනෙක් ගෙ සද්දයක් නෑ. කවුරුත් බරට කල්පනා කරනවා. ඇත්තටම කවුද ආවේ නැත්තේ. ඇයි ආවේ නැත්තේ උපුලුත් කල්පනා කරනවා.

ඔය පන්තියෙ හිටපු වැඩි කතා නැති පුබුදු දිහාට ටීචර් හැරුනා. මුළු පන්තියේම ළමයින්ට උත්තර බැරි අමතක වෙන කොට ටීචර් හැරෙන්නේ පුබුදු දිහාට බව උපුල් දැනන් හිටියා. දැන් මුළු පන්තියම පුබුදු දිහා බලාන.

කවුද පුබුදු මෙතන අඩු ?

අරහෙට මෙහෙට වෙවී පුටුවෙන් නැගිට්ට පුබුදු ටිකක් කල්පනා කරල උත්තරයක් දුන්නා.

ප් ප් . . . ලුටෝ

හරියට හරි ප්ලූටෝ තමයි මෙතන නැත්තේ  පුබුදු දිහා බලල සතුටින් හිස වනපු ගුරුතුමී කීවා. පුදුබු ආඩම්බරෙන් පුටුවෙ වාඩි වුනේ මුළු පන්තිය දිහාම බලන ගමන්.

ටීචරත් සතුටුයි. පුබුදුටත් පන්තියේ ළමයි ඔක්කටමත් හරිම සතුටුයි. ඒත් උපුල්ට නම් ටිකක් විතර හිතට හරි මදි.

ඇයි දන්නෑ ප් ප් ප් ලුටෝ රැස්වීමට නාවේ එදා පාසල් ඇරිල ගෙදර යන ගමනුත් උපුල් කල්පනා කරා.

අපරාදේ මට ටීචර්ගෙන් අහන්න තිබ්බා උපුල් පසුතැවුනා. ටීචර් හැමවෙලේම කියනව නේ දන්නෙ නැති තේරෙන්නැති දේවල් අහන්න කියලා. උපුල් තව තවත් දුක් වුනා.

ඔන්න උපුල්ගේ වාර විභාගෙත් ළං වුනා. . . . . . උපුල්ට මෙදා සැරේ නම් විද්‍යාව හරිම ලේසි. පන්තියේ ගොඩක් ළමයින්ට විද්‍යාව ලේසි කියලත් කියනව උපුල්ට ඇහුනා.

ඒත් . . . . . . 

විද්‍යා ටීචර් ට නම් තමන්ගෙ උගැන්නිල්ලේ මොකක් හරි පරහක් තියෙන බව නම් උපුල්ගෙ උත්තර පත්තරය බලද්දි තේරුනා.

ප්‍රශ්ණය :- ප්ලුටෝ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් කිරීමට හේතුව කුමක් ද?

උපුල්ගේ පිළිතුර : - ඉර ගේ රැස්වීමට නාව නිසා

උපුල්ගේ අයියට හම්බුනු සංගමේ රස්සාව නැති වුනේ ගමේ එක්තරා දේශපාලන රැස්වීමකට සහභාගි නොවුන නිසා කියලා උපුල් ගෙ අම්ම කියනව උපුල් අහන්. 

පවු . . . .. .ප්ලූටෝට උනෙත් අපෙ අයියට වුනදේමයි.

උපුල් එදා ප්ලූටෝ ගැන හරියට දුක් වුනා.

ප.ලි:- මම ගිය සතියේ දොම්පෙ තිබ්බ ගුරු පුහුණු කඳවුරකට සහභාගී වුනා. ඒකෙදි අහපු එක් සත්‍යකතාවක් තවත් දේ එකතු කරල ලියන්න මට හිතුනා. මේ උපුල්ගෙ කතාව අන්න ඒ වගේ.

හැමදාමත් මගෙ පන්තියෙත් උපුල්ල ඉන්නව ඇති කියල හිතලා , තේරුනාද , ප්‍රශ්ණ තියනව නම් අහන්න. කියල කට කැඩෙනකම් කීවත් , මගෙ පන්තියෙ උපුල්ලත් නිහඬවම ගෙදර යනව ඇති කියල මටත් හිතෙනවා.

උපුල්ගේ ගුරුතුමී

මම

සොඳුරු


 

 

 

 

 

 

සමාජජාලා ලිපින: https://www.facebook.com/sonduru.sitha

වෙබ්/බ්ලොග්ලිපිනය :www.sodurusitha.blogspot.com

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates