Latest News

සෙනසුරාට ඇයි ඔච්චර බය ???



 
කවුද මේ සෙනසුරු ?
ජ්‍යෝතිෂ්‍යයේදී සෙනසුරු යනු සූර්යයාගේ පුත්‍රයා යයි කිය යි. එහෙත් දෙදෙනා සතුරෝ ය. සූර්යයා හෙවත් රවි උච්ච වන මේෂ රාශියේ දී සෙනසුරා නීච වේ. එසේම සෙනසුරා උච්ච වන තුලාවේ දී රවි නීච වේ. දෙදෙනා එතරම් සතුරු ය. සෙනසුරු යනු නපුංසක ග්‍රහයෙකි. සෙනසුරාගේ වර්ණය කළු මිශ්‍ර නිල් පැහැය යි. වාහනය ලෙස ගනුයේ කපුටා ය. වසන්නේ නුග රුක්ෂයක ය. සෙනසුරු ග්‍රහයා වටා පවතින වළලු හේතුවෙන් සෙනසුරා වාතයට අධිපති ග්‍රහයා ලෙස ද සැළකේ.
සෙනසුරා කෙරෙහි පවතී යැයි සැළකෙන ගතිගුණ ද සෙනසුරු නරක් වූ විට සිදුවන්නා සේ සැළකෙන දෑ ද ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය තුළ දක්වා ඇත. ඒ අනුව, කම්මැලිකම, වැඩ කල් දැමීමේ ගතිය, කටයුතු කෙරෙහි බාධා පැමිණවීම සෙනසුරාගේ සැටි ය. ශරීරය කෘෂ වීම, දුර්වර්ණ වීම, දිළිදුකම , අවාසනාවන්කම, කෙළවරක් නැති දුක් විඳීම, අධෛර්‍ය්‍යය, බලාපොරොත්තු සුන්වීම, සුව වූවාට පසුත් ලකුණු ඉතිරිවන රෝග හා වණ, අස්ථි භග්න, බර වැඩ , මරණය,  යන දෑ සෙනසුරා නරක් වූ විට සිදුවන අහිතකර දෑ ය.
නමුත් මතක තබා ගත යුතු කරුණ නම් ඉහත කී සියල්ල සිදු කරන්නේ සෙනසුරු ග්‍රහයා නොවන බව යි. ජ්‍යොතිෂ්‍යය යනු ශාස්තුයකට වඩා විද්‍යාවකි. මෙහිදී සිදු කෙරෙන්නේ කෙනෙකුගේ පූර්‍ව කර්මයන්හි ස්වභාවය, ඒවායේ විපාක, එම විපාක ඵලදෙන ආකාරය හා එසේ කර්ම විපාක දෙන කාල සීමාවන් ග්‍රහයන්ගේ පිහිටීම ඇසුරින් නිර්ණය කිරීම සහ ඒ අනුව කෙනෙකුගේ අනාගතය පුරෝකථනය කිරීමකි.

 
සෙනසුරු හැමෝටම නරක ද?
සෙනසුරු යැයි නම ඇසූ පමණින් බොහෝ දෙනා භීතියට පත්වේ. නමුත් අප එසේ බිය ගන්නේ අප විසින්ම කරන ලද පූර්ව කර්මයන්හි විපාක දීමට යි. එසේම කර්ම නියාමය යනු නියාම ධර්ම පහෙන් එකක් පමණක් බවද බෞද්ධයෝ දනී      .
පොදුවේ ගත් කළ මකර , කුම්භ යන ලග්නැති අයට ලග්නාධිපතියා වීම නිසාත්, තුලා රාශියෙන් උපන්නහුට සුබයෙක් වීම නිසාත්, වෘෂභ ලග්න හිමියන්ට යෝගකාරක ග්‍රහයා වීම නිසාත් සෙනසුරු එතරම් අනිටු ඵල නොදේ. ධනු ලග්නකාරයාට ද සෙනසුරු එතරම් නරක නැත.එසේම සෙනසුරු යහපත් භාවයක උච්චව , ස්වක්ෂේත්‍රව හෝ මිතුරු ව සිටින විට හෙනසුරුගෙන් යහපත් ඵල ලැබෙන බව අත් දැක ඇත
සෙනසුරු යහපත් වූ විට මහත් ඵල දේ. රාජ්‍ය නායකයෙකුගේ වැනි තත්වයකට උසස් කර යි. ධනවත් කර යි. සැප සම්පත් හා වස්තු ලබා දේ. අප රටේ රාජ්‍ය නායකයන් අතරින් බොහෝ දෙනෙකු ඒ තත්ත්ව වලට පත්ව ඇත්තේ සෙනසුරු ඒරාෂ්ඨක ගත කරන කාලයන්හිදී ය.එසේම අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේද සෙනසුරු ඒරාෂ්ඨක කාලයක ය. සැබෑ තත්ත්වය එසේ නම් සෙනසුරු නරක ය.˝ සෙනසුරු ඒරාශ්ඨක කාලයක්ය.˝ යැයි සිතමින් බිය ගැනීම අවැසි ද?

අපි නොදන්න ඒරාෂ්ඨක !
නොවැම්බර් 02 දා සෙනසුරු ග්‍රහයා තුලා රාශියෙන් වෘෂ්චික රාශියට ගමන් කිරීමත් සමඟම සෙනසුරු ඒරාෂ්ඨකය පිළිබඳ කුතුහලයක් හා අනියත බියක් මහජනයා තුළ පැතිර ගියේ ය. එයට මූලික වූයේ අප රටේ ජනමාධ්‍යය බව නොරහසකි. එහෙත් සියළු දෙනා වෙතම අවධාරණය කළයුතු වන්නේ යහපත් කල් ක්‍රියාවෙන් යුතුව ධාර්මිකව ජීවත්වන්නන්ට ඒරාෂ්ඨකයෙන් එතරම් හානියක් සිදු නොවන බව ය. විෂ්ණුදෙවියන්ට බටකොළ කැවූ සෙනසුරා ගණදෙවියන්ට පරාජය වූ බව ජනප්‍රවාදයේ එයි. එසේ නම් බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් ඒරාශ්ඨක කාලය තුළ අයහපත් ප්‍රතිඵල වලකා ගැනීමටත් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමටත් හැකි වනවා නොඅනුමාන ය.


නර්මධා වික්‍රමආරච්චි

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates