Latest News

නොසිතූ විරාමය



ගුවන් යානය පිටත්වීමට සූදානම් වී තිබුනි. බිඳ වැටීමට ආසන්න මගේ ජීවතයේ තවත් පුංචිම හරි පැතුමක් ඇති දැයි කියා මා සිහිකලේ බඳපටි පැළඳ සන්සුම් වීමට ලබාදුන් නිවේදනයත් සමගම දෙනෙත් පියගනිමින්ය. මගේ දෛවය මේක නම් මම අද ඉඳලා ජීවත් වෙන්න ඕනා දෛවයට ඕන විදියටයි. එත් තවත් ජීවත් වෙන්න තියෙන්නේ කී කාලේද...? මේ යන්නේ ජීවත් වෙන්න ජීවිතය හොයාගෙන උනත් ජීවිතය සදහටම නොලැබෙන බව මා දනී. ඉපදෙන මිනිසුන් දිනෙක කොහොමත් මැරෙනවා. නමුදු ඒ කවදාද කොහොමද කියලා ඒ කවුරුත්ම දන්නේ නැහැ. එහෙත් මම නම් හොඳින්ම දන්නවා ළඟදිම සමහර විටෙක මට මේ ජීවිතය දාලා යන්න සිද්ධ වෙන බව. මුහුණට නොකීවාට මට ආදරය කරන මගේ අම්මා, තාත්තා, අක්කා සහ මාත් සමගම මේ ලෝකෙට ඉපදුන මට වඩා විනාඩි 45ක් පටන් වැඩිමහල් වූ මගේ නිවුන් සහෝදරයා වූ මගේ අයියා දුක් වෙනවා ඇති මට අඩු වයසින්ම මෙලෙසට ජීවිතය දාලා යන්න සිද්ධ වීම පිළිබඳව. මිනිසුන් කොතරම් හදිසි අනතුරු වලින් මියයනවාද...? එහෙත් අසනීපයක් හේතුවෙන් මියයාමට ආසන්න බව දැන ගැනීමෙන් අනතුරුව මියයන බව දැන උන්නත් හැම විටම උත්සාහ දරන්නේ අන්තිම සතය දක්වා හෝ වියදම් කර අසනීපය සුවකර ජීවත් වීමට වරම් ලබා දීමයි. රෝගියා මියගියද ජීවත්වන්නවුන් හිත හදා ගන්නේ අවසානය දක්වාම සුවකරන්නට දැරූ උත්සාහය සිහි කිරීමෙනි. විටෙක අසනීප වූ පුද්ගලයා සුවවෙමින් සිටියදී සුවකරන්නට වෙහෙසවූ පුද්ගලයා මියයයි. සොබාදහම ඒසේත් නැතිනම් ජීවිතය මෙයාකාරය. තවත් අතකින් බලන කල මගේ ජීවිතයටද සිදුව ඇත්තේ එයයි. තවදුරටත් ජීවත්වීමට කිසිදු ආසාවක් නොමැති වුවත් ආදරය කරන්නවුන්ගේ සිත් සැනසීමට මේ සැත්කම සඳහා ඉන්දියාව බලා පිටත් වීමට සිදුවුනි. මේ රෝගය ආශීර්වාදයක් ලෙස සලකා මට ඕනෑවූයේ ඉක්මනින් ජීවිතය අතහැර යාමටය. එනමුත් තවමත් මට සිතාගත නොහැක්කේ පනට පනසේ  ආදරය කල කෙනෙකු අසනීප බව දැනගැනීමෙන් අනතුරුව අතහැරයාම පිලිබඳවය.                     

     “මට සමාවෙන්න ධනු මට සමාවෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ.’’

ආත්මය පුරා ගැලු ප්‍රේම තටාකය සිඳී ගියේ එලෙසින්ය. මගේ ආත්මයම කොට ගත ආදරය මෙතරම් පහත්දැයි කියා මම හැම විටම සිතන්නට වුනා. ජීවිතය පුර දුක් විඳ පනටත් වැඩියෙන් ආදරය කලේ මුළු ජීවිතය දුකට වැටුන විට ඒ මුවින් මේ වදන් බලාපොරොත්තුවෙන්ද කියා අදටත් මට හිතා  ගන්න බැහැ.මගේ ජීවිතයට මේ තරම් කෙනෙහිලි කම් කල මගේ දෛවය තවදුරටත් සාධාරනායක් කරාවි යැයි කියා මට විශ්වාස කරන්නට පුළුවන් කමක් තිබුනේ නැහැ.

   “ජීවත් වෙද්දි මෙහෙම දේවල් සිද්ධ වෙනවා මගේ පුතේ. එහෙම උනාය කියල කිසිම දෙයක් නැත්තටම නැති වෙන්නෑ. පුංචි පුංචි අසනීප මිනිස්සුන්ට හැදෙනවා. සමහර ලෙඩ කොත්තමල්ලි,පත්පාඩගම් ටිකක් බිවාම ඇරිලා ගියත් සමහර ලෙඩ හොඳ කරන්න මුදු හතක් එහාට යන්න වෙනවා.සොබාදහම එක එක ලෙඩ වලට හොයාගෙන තියෙන ප්‍රතිකාර


වල හැටි එහෙමයි. පුතා බය වෙන්න එපා පුංචි කලේ සාදික්කා ගහ උඩින් වැටිලා ඔලුව පැලුන වෙලේ තුවාලයට මැහුම් දැම්මා මතකද....? ආන් එදා වගේ කියලා හිතාගෙන මේ ගමන යන්න පුතේ. කවුරුත් නිසා නෙවේ. ඔයාගේ අම්මා වෙනුවෙන්. ඉක්මනින්ම මේ අහිංසක හුරතල් හිනාවත් අරන් මං මගේ රත්තරං එනකල් බලන් ඉන්නවා. රත්නත්තරේ පිහිටෙන් මගේ පුතාට තව ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන්.’’

මගේ අම්මා මට පනටත් වැඩියෙන් ආදරය කරද්දි මම පනටත් වඩා ආදරය කලේ මගේ අම්මාට නොවේ. මාව මේ සැත්කම සඳහා පිටත් කර එවන්න අම්මා රාත්‍රීන් කීයක් නම් මගේ හිත හදන්නට නිදි මරන්නට ඇතිද...? එහෙත් මං පනටත් වඩා ආදරය කල ඇය.... ඇයට කියන්නට කිසිම දෙයක් තිබුනේ නැහැ.ආදරයේ පුජාව අම්මා....   පිරිත් පැන් කලයක් සේ පිවිතුරුව රැකගත් ආදරය හිත්පිත් නැති නපුරියෙකුගේ හදවත මතින් තැබුවේ කෙලෙසද කියා තවමත් මට සිතා ගන්නට බැරිය.

    “සුදු මැණික.... මං හදිසියේම අසනීප උනා වස්තු....ඔයා එනවද මව බලන්න...?”

  “ඇයි ධනු මොකද උනේ..? මං ඔයාට දවස් දෙක තුනක ඉඳල කෝල් කලා. ෆෝන් ඔෆ්... ඔය කොහෙද ඉන්නේ...? ගෙදර ආවද...? එකපාරටම අසනීපයි කිවේ ඇයි ඔයාට උන ගැනිලාද ධනු...?

    “මම නෙවි හොස්පිටල් එකේ ඉන්නේ... උන නෙවේ මැනික.”

    “කොහාට ඔයාට අසනීප උනාට නෙවි හොස්පිටල්නේ දාන්නේ ගත්තේ. මට මගේ රත්තරංව බලන්න ඕනා. ඔයා මෙහේ එනවාද..?. උන නෙවේ නම් මොකක්ද අසනීපෙ...?”

    “මම දන්නැ වස්තු... මට සිහිය ආවේ ඊයේ. ඔයාට කතා කරන්න අයියාගෙන් වැඳලා වාගේ  ෆෝන් එක ඉල්ලා ගත්තේ මට මගේ රත්තරංව බලන්න ඕන. ඔය මෙහේ එනවාද..?”

     “මොනවා.... ඔය සිහි නැතිව හිටියා... හරි මම හෙට උදෙන්ම එන්නම් ධනු.”


ජීවිතයේ සියල්ල විසඳිය හැකි එකම බලවේගය ආදරයයැයි කියා මා සිතුවා. වේදනාවෙන් රෝහලේ ඇඳ උඩ සත්වෙනි දවස ගෙවෙන මොහෙතේදී  ශශ්මිතා මා බලන්න නාවුක හමුදා රෝහලට පැමිනියා.

     “ඇයි එදා ආවේ නැත්තේ මා කොයි තරම් බලන් හිටියාද....?”

මා ශශ්මිතා දුටු පලමු මොහොතේදිම ඇසු පැනය එයයි.

     “එන්න තම හිටියේ එත් හදිසි වැඩ වගයක් තිබුනා.හරි ඉතින් මං දැන් ආවනේ. කියන්න මොකද උනේ ඔයාට...?”

     “මං දන්නැ වස්තු.. මට හරියට මෙයාලා කිසිදෙයක් කියන්නේ නැහැ. තව ටික දවසක් හොස්පිටල් එකේ ඉන්න වෙයි කීවා.”

      “බය වෙන්න දෙයක් නැතිව ඇති ධනු.’’

      “මත එහෙම හිතනවා මැනික...?

     “සිහි නැතිව උන්නා කීවාම මම හිතුවා ඔයාට ගොඩක් අමාරු ඇති කියලා. දැන් ප්‍රශ්නයක් නෑනේ. මේ අහන්න ධනු මම ඉක්මනට යන්න ඕනා.’’

     “ඉක්මනට අනේ ඇයි..? මං හිතුවා අද දවසම ඔය මං ලඟටම වෙලා ඉඳීවි කියලා. මං ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද වස්තු හිටියේ..?”

     “දවසම ඉන්න බැහැ... මට මේ ටිකේ ගොඩක් වැඩ. දැන් මම යන්නම්... ආයේ මම එනවානේ. මං ලඟටම වෙලා ඉන්න තරම් ලොකු අසනීපයක් ඔයාට නැනේ.ධනු මම යන්නම්... බුදු සරණයි..”

මගේ ආත්මය සැනසු මේ ආදරය මේ තරම් නපුරු උනේ කොහොමද...?මගේ ඔලුව ටිකක් අතගාන්නවත් ඒ අත නොඉස්සුනේ ඇයිද...? මගේ පන, රත්තරං  කියා ඇමතු ඇයට මා



නිකන්ම නිකං ධනු වුනේ කෙසේද...? මගේ හිතේ ඇතිවූ එවැනි ප්‍රශ්න රැසකට එදා මට උත්තර තිබුනේ නැහැ. මා එදා රැ ඔහේ  ඇඳ උඩට වෙලා පොඩි දරුවෙක් වගේ ඇඬුවා.

    “දැන් දවස් කීයක්ද අයියේ.. ඇයි මාව ගෙදර යවන්නේ නැත්තේ. මට  තියෙන අසනීපෙ මොකක්ද...? මගේ අසනීපෙ ඇයි ඔයාලා මට හංගන්නේ අයියේ එක මට දැන  ගන්නවත් අයිතියක් නැද්ද දෙයියනේ.”

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ලබන කලාපයට


අකිලා නදීශානි බණ්ඩාර

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates