Latest News

ඩාවින්චි ඇත්තටම ඇන්දේ මෝනාලීසාව නෙමෙයි

මම අද අන්තර්ජාලයෙන් ලොව සුප්‍රසිද්ධ මෝනාලීසා සිතුව ගැන අළුත් දෙයක් දැනගත්තා.විද්‍යාඥයන් පිරිසක් "මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංගය"(Face recognition software) යොදාගෙන සිදුකරපු පරීක්ෂණයකින් මෝනාලීසා සිතුවමේ භාව ප්‍රකාශන සොයාගෙන තියනවා.ඒ අනුව මෝනාලීසා ගේ මුහුණින් 83% ක සතුටකුත්,9% ක කළකිරීමකුත් ,6% ක තැතිගැන්මකුත්,2% ක තරහකුත් ප්‍රකාශ වෙනවා.

කවදාවත් හරියට නොබලපු මෝනාලීසා සිතුවම දිහා, ජීවිතේ පළවෙනි වතාවට මම  මහත් ඕනෑකමින් බලන් හිටියා.ලියනාඩෝ ඩාවින්චි කා දිහා බලන් මේ සිතුවම ඇන්ඳ ත් මට නම් ඒ මුහුණෙ ඉරියව්, හැඩතලවල මොකද්දෝ මන්දා සමීප බවක් දැනුනා.මම තවත් හොඳින් මෝනාලීසා ගේ ඇස්දෙක දිහා බලන් හිටියා.ඇගේ සිනහවෙන් මොකද්දෝ මන්ද පණිවිඩයක් කියන්න ඩාවින්චි උත්සාහ කරනවා.මොනාලීසා ගෙ හිනාවේ දහසකුත් හැඟීම් ලියවිල තිබුණා.

මට මෝනාලීසාගෙන් පිරිමිකමක් පෙනුනා.කොච්චර ජීවිත කුණාටු හැමුවත් ගහගෙන යන්නෙ නැතුව,ප්‍රශ්න එක්ක හරි හරියට ඔට්ටු වෙලා ජීවිතේ දිනන්න දඟලන පුදුමාකාර ධෛර්යයක් තියෙන ගෑණියක් ව මට පෙනුනා. තව ටිකක් ළංවෙලා බැලුවා.මොකක්?මට පේන්නෙ ඇත්තක් ද?මට මෝනාලීසාගේ මුහුණෙන් අම්මාව පෙනුණා.අම්මා ත් හරියට මෝනාලීසාගේ  වගේ නේද කියල මගෙ යටිහිත මගෙන් ඇහුවා. ඇත්ත නේන්නම්!මට එතකොටම වගේ සේකර ගෙ"ප්‍රබුද්ධ"පොතේ එන "අම්මා"කවි පංතියේ කොටසක් මතක් වුනා.

'ගිලී ගිය ඇස් කුහර තුළ

නොදුටුවෙමි කිසිවිටෙක සතුටක්

නොදුටුවෙමි කිසිවිටෙක දුකකුත්...'

මේ තමන්ව ලොකු මහත් කරන්න දහදුක් විඳපු  අම්මාගේ ඇස්දෙක, ලොකුමහත් වුණු පුතෙක් දැක්ක හැටි. ඇත්තටම මෝනාලීසා ගේ ඇස්වලත් ඒ ගතිය මට  පෙනුනා.අපි මේ ලෝකෙ ඉපදුණු දවසේ ඉඳන් අම්මගෙ මූණේ,ඇස්දෙකේ කොයිතරම් නම් භාවයන් ලියවෙන්න ඇත් ද? ඒ දිහා හරියට බලන් හිටියා නම් අම්මපා! ඩාවින්චිට වඩා හොඳ මෝනාලීසා  කෙනෙක් අඳින්න ලංකාවේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට හැකියාව ලැබෙනව එහෙනම්! අම්මගෙ වැදෑමහ කඩාගෙන අපි මුලින් ම මේ  ලෝකෙට ආපු දවසේ ඉස්සෙල්ලා ම"කෑස් කෑස්" ගාල අඬ්ද්දී අම්මගෙ මුහුණේ ඇතිවුණ ඒ සතුට,ඒ ඉරියව්, ඒ විදියට ම චිත්‍රයට නගන්න ඩාවින්චිට තියා මෙලෝ ජගතෙක්ට පුළුවන් ද? මෝනාලීසාගේ මූණේ සීයට අසූ තුනක් ම තිබුණෙ සතුට.අම්මගේ මූණ ත් එහෙමයි.

"ගල්වා ඉසෙහි තෙල් යහමින්

 එල්ලා කරෙහි පංචායුධය

අල්ලා අතින් මා

පාසලට එක්ක ගිය

අකුරු නූගත් අම්මා ඔබ ය."

මෙහෙම කියන්නෙ සේකර.ඇත්තටම ඕනම අම්ම කෙනෙක් ලබන ලොකුම සතුට තමා ඒ.කොච්චර නැතිබැරිකම් තිබුණත්,කොච්චර නූගත් වුණත්, තමන්ගෙ දරුවට හොඳම දේ දෙන්න හැම අම්ම කෙනෙක් ම පුදුම හටනක්  කරන්නෙ. මේ ළඟදි දවසක කොටුවෙ කඩයක් පහුකරගෙන යද්දී හරි සංවේදී සිද්ධියක් මම දැක්කා.හිඟන අම්මා කෙනෙක් කුණු කූඩයක් පෙරලං කෑම ටිකක් හොයනවා.ඒ අතර ඒ අම්ම ළඟට ආපු හොඳට ඇඳ පැළඳ ගත්ත නෝනා කෙනෙක් ඒ අම්මගෙ අතට බනිස් ගෙඩියක් දුන්නා. හිඟන්නී වුණත් "අම්ම" නේ.ආයේ දෙපාරක් හිතුවෙ නැහැ නාවර පෙරාගෙන හිටපු පොඩි උන් දෙන්නගෙ කටවල දෙකට ඒක ඔබල කුණු කූඩෙන් හම්බුණු පරණ පාන් වාටියක් ගිල දැම්මා.ඒත් ඒ ඇස්වල දුකක් තිබුණෙ නැහැ.පොඩි උන්ගේ බඩවල් දෙක වගේ ඒ ඇස් දෙකත් සතුටින් හිනා වුණා. මෝනාලීසා කෙනෙක් වගෙයි ඒ අම්ම ත්.....මට හිතුණා.

ඒ වගේම තමා මොකක් හරි කුපාඩි වැඩක්,අසම්ජ්ජාති වැඩක් කරල අම්මගේ අතට මාට්ටු වුණාම අර සීයට  දෙක මතුවෙන්නේ. මේ තරහ නම් ප්‍රතිශතයක් විදියට අම්මගෙන් අම්මට ටිකක් අඩු වැඩි වෙනවා.එතකොට නම් ඉතින් කන් දෙකට ඇබ දෙකක් ගහගන්නවා හොඳයි. මම දවසක් බස් එකේ යද්දි ජෝතිපාල මහත්තයගෙ ලස්සන සින්දුවක් වාදනය වුණා."අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ"මේකයි සින්දුවෙ මුල් පද ටික.ජීවිතේ වැරදි මාර්ගෙ ගිහිං අන්තිමේදි අම්මාව හොයන් ඇවිත් සමාව ඉල්ලන පුතෙක්.

අගේට පැළඳූ ගෙල වට මාලේ

එදා සොරා ගෙන ගියානෙ අම්මේ

මගේම දැතින් පළඳවන්නයි

මෙදා මාලේ මා ගෙනාවේ අම්මේ

සමාව ඉල්ලා දෙපා වදින්නයි

සමාව දෙනු මැන පුතුහට අම්මේ

දරුවෙක් මොන වරද කරල තමන්ගෙ ළඟට ආවත් තාත්තට කලින් බොහෝ වෙලාවට හිත උණු වෙන්නෙ අම්මගේ. අම්මෙක් දරුවන්ට සමාව දෙන්නේ මහ සාගරය වගේ.

අර සීයට හයේ තැතිගැන්ම නම් හැම අම්මා ළඟම තියනවා.විශේෂයෙන් ම දරුවා කෙල්ලෙක් නම්.පොඩි කාලේ ඉඳං මලක් වගේ පරිස්සම් කරන දූ පොඩ්ඩ ටික ටික උස්මහත් වෙලා"ලොකු දුවෙක්" වුණ දාට අම්මාගේ කර උඩ පැටවෙනව වගකීම් ගෝනියක්. එදාට හැම අම්මා කෙනෙක්ගෙ ම ඇහින් වැටෙන කඳුළු ඇතුලේ අර 83% සතුට ත්,2% තැතිගැන්ම ත් තියනවා.ඊට පස්සෙ නෙ යුද්දෙ පටන් ගන්නෙ. කෙල්ලගේ පස්සෙන් වැටෙන කොල්ලන්ගෙන් කෙලීව පරිස්සම් කරගන්නයි,කෙල්ල දීගෙක යනකං ඒකිගේ නම්බුව ආරස්සා කොරන්නයි අම්මාට සිද්ධ වෙනවා.

කතාව හැබැයි වෙනස් අම්මාට ඉන්නෙ කොල්ලෙක් නම්.පොඩි කාලේ ජංගි කොටේ ඇඳං ගේ පුරා දිව්ව එකා එකපාරටම කරදඬු උස්මහත් වෙලා ලොකු ඉලන්දාරියෙක් වෙලා.ඌ  මොකක් හරි නොසන්ඩාලකමක් කරල,නැත්තම් කා එක්ක හරි වලියක් දාගෙන මූණ කට තඩිච්ච් කරන් එද්දි අම්මගේ ඇඟෙයි ලේ වතුර වෙන්නෙ. "මේකා නම් නාහෙට අහන් නැහැ.මූ කවද මිනිහෙක් වෙයි ද?”එහෙම දවසකට අම්මගෙ පපුවෙන් පිටවෙන හුස්ම පොද ඇතුලෙ අර 2% තරහ ත් 9% කළකිරීම ත් තියෙනවා. හැබැයි ඒ අත් දෙකම තමා කාගෙන් හරි ගුටියක් කාල එන දඩබ්බර පිට ට තෙල් ගාල තාත්තලා අකමැතිම වැඩේ වෙන"හුරතල්"කරන්නේ.

මෙහෙම බලද්දි ඩාවින්චි ඇත්තටම ඇඳල තියෙන්නෙ මෝනාලීසා ව විතරක් නෙමෙයි.මුළුමහත් මාතෘත්වය ම. මෝනාලීසා ගෙ සිතුවම හරියට කැඩපතක් වගේ.ඒකෙන් මම හැම අම්මා කෙනෙක්ව ම හැම දුක් විඳින ගෑණියක්වම දැක්කා.

මෝනාලීසා ගේ මූණෙ තියන හිනාව දිහා හොඳට බලන්න.ඒක ඇත්තටම හිනාවක් ද?ඒකට හරිම උත්තරය දන්නෙ ඩාවින්චි විතරක් වුණත්, මේ හිනාව ගැන විචාරකයින් විවිධ මත පළ කරනවා.ඒ කොහොම වෙතත් වැඩේ කියන්නෙ මුලු සිතුවම ම ඇඳපු ඩාවින්චිට මෝනාලීසාගේ හිනාව අඳින්න අවුරුදු ගානක් ගත වෙලා තියනවා. ඒ ඇයි?මට ප්‍රශ්නයක්. සමහරවිට ඩාවින්චිට විශ්වීය ගැහැනියගේ හිනාවෙ තියන දහසකුත් හැඟීම් තේරුම් ගන්න ගොඩක් කල් යන්න ඇති. ඒ ඔක්කොම කැන්වස් රෙද්දකට ගන්න තවත් අමාරු වෙන්න ඇති. ඒත් අපි මේ පොලවේ ඉන්නෙ ටික කාලයයි.අපේ අම්මත් එහෙමයි.ඒ  නිසා මේ ඉන්න ටික කාලෙදිවත් අම්මගේ මූණ දිහා හරියටම බලන්න.එක පාරක්වත්.එ මූණෙ තියන හැඟීම් තේරුම් ගන්න.එතකොට ඩාවින්චිට නොපෙනුනු ගොඩක් දේවල් අම්මගෙ මූනෙ තිබිල අහුවෙන්න පුලුවන්. හැබැයි ඩාවින්චි වගේ අම්මගේ මූණෙ හිනාවක් අඳින්න නම් ගොඩක් කල් ගන්න එපා. මොකද ජීවිතේ කොටයි.ඒ නිසා අම්මාගේ ඇස්දෙක පියවෙන්න කලින් ඒ මූණෙ හිනාවක් අඳින්න. ඔව්!ලෝකෙ ලොකුම හිනාව!හොඳම පාටවලින්!

---මම කතා කරමි---

මනූෂි සිල්වා


Manushi Silva
071 137 30 15

1 comment:

  1. this goes with a challenging good era . Good luck and keep it up your good work and interesting thought. Can see a good future have some more to go....you can do it....

    ReplyDelete

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates